ජලභීතිකාව මාරාන්තිකයි. අවදානමට පෙර සූදානම් වන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ජලභීතිකාව මාරාන්තිකයි. අවදානමට පෙර සූදානම් වන්න.

ජලභීතිකාව මාරාන්තිකයි. අවදානමට පෙර සූදානම් වන්න.

ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයකි. නමුත් එය වළක්වාගත හැක. මානව ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදුවී තිබේ. වසරකට ජලභීතිකාව නිසා පුද්ගලයින් 300 ක් පමණ මරණයට පත්වේ.



ලෝකයේ බොහෝ රටවල වගේම ශ්‍රී ලංකාවේත් ජලභීතිකා රෝගය බහුලවම මිනිසාට බෝවන්නේ සුනඛයන් සපාකෑමෙනි. මීට අමතරව අප ගෙවල් වල ඇතිකරන බළලුන්, හරකුන් වැනි සතුන්ගෙන්ද මේ රෝගය බෝවිය හැක.



ගෙවත්තේ සිටින මුගටියන්, ඌරු මීයන්, උගුඩුවන් වැනි සතුන්ගෙන්ද ජලභීතිකාව ඇතිවිය හැකියි. කැලෑ සතුන් වන නරින්, වඳුරන්, දඬු ලේනුන්, කැලෑ බළලුන්, උරුලෑවන් වැනි සතුන්ගෙන් මෙම රෝගය මිනිසාට බෝවීමේ හැකියාවක් පවතී.



මෙම රෝගය සුලභව බෝවන්නේ සතෙකු සපාකෑමෙන් වුවද ඊට අමතරව සම මතුපිට ඇති තුවාලයක් මත ආසාදිත සතෙකුගේ ඛේටය තැවරීමෙන්, අපගේ මුඛ කුහරය, නාස් කුහරය, ඇස් ආදියෙහි පවතින ශ්ලේෂ්මල පටල හරහා වෛරසය අපගේ ඇඟට ඇතුළු විය හැකියි.



ජලභීතිකාව සහිත සතෙකු අපිව ලෙවකෑ අවස්ථාවක තුවාල රහිත නිරෝගී සමක් හරහා වෛරසය ශරීරගත විය නොහැකියි. කෙසේ වුවද සතෙකුගේ ඛේටය අපගේ ශරීරයේ තැවරුනහොත් අනිවාර්යයෙන් සබන් යොදා සෝදා පිරිසිදු කරගත යුතුයි.



සුනඛයෙකු රෝග ලක්ෂණ පෙන්වීමට දින 14 කට පෙර වුවද මෙම වෛරසය ඔවුන්ගේ ඛේටයේ තිබිය හැකියි. එමනිසා සුනඛයෙකු සපා කෑ අවස්ථාවක එම සත්ත්වයාට රෝග ලක්ෂණ නොතිබුණේ යැයි කිසි විටෙක අඩු තක්සේරුවකට ලක්කළ යුතු නැත. පමා වී හෝ ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ.



සතාගේ හැසිරීමේ වෙනසක්, උදාසීන බවක්, උණ ඇති වීම, ජලය සහ ආහාර ප්‍රතික්ෂේප කිරීම, ගිලීමට ඇති අපහසුතාවය, වමනය සහ පාචනය, අධික ලෙස මුඛයෙන් සෙම වැගිරීම, නිරන්තරයෙන් මළපහ හෝ මුත්‍රා කිරීමට තටමන ස්වභාවය, සතා බුරන ශබ්දයෙහි වෙනසක්, මුඛය විවෘතව හනුව පහතට කඩා වැටීම ආදී රෝග ලක්ෂණ මෙහිදී දක්නට ලැබේ.



මෙම සත්ත්වයින් අධික ලෙස රෞද්‍ර වී අධික ලෙස බිරීම, ඇතැම් විට ඉතා බියගුලු ස්වභාවයක් පෙන්වීම, ඉතා නොසන්සුන් සහ කලබලකාරී ස්වභාවයක් පෙන්වීම, අරමුණකින් තොරව ඉබාගාතේ ඇවිද යාම, හමුවන ඕනෑම දෙයක් සපාකෑමට පෙළඹීම මෙන්ම අවසාන අවස්ථා වල වලිප්පුව වැනි ශරීරයේ වෙවුලන ස්වභාවයක්ද ඇතිවිය හැක.



අවසානයේ සතුන් මරණයට පත්වීම සිදු වන අතරම උගුරේ මාංශපේශීන් අකර්මන්‍ය වීමෙන් ජලය සහ ආහාර ගිලීමේ අපහසුතාවයකට සතුන් මුහුණදෙයි.



මිනිසුන් තුළ ඇති වන රෝග ලක්ෂණ වශයෙන් සතා සපා කෑ ස්ථානයේ හිරිවැටීමක් හෝ ඉඳිකටු වලින් අනින ස්වභාවයක් සංවේදනය වේ. ඉන්පසු මෙම වෛරසය මධ්‍ය ස්නායු පද්ධතිය කරා ගමන් කළ පසු උණ, හිසරදය, ශරීරයේ වේදනාව, ඇඟපත වේදනාව, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.



ගිලීමට අපහසුතාවය මිනිසුන් තුළත් දක්නට ලැබේ. සුළං වැදීමේදී වන අපහසුතාවයක්ද මෙහිදී හටගනී. අවසාන වශයෙන් ව්‍යාකූල තත්ත්වයකට පත්වී මරණයට ලක්විය හැකියි. මෙම මරණ ඉතා වේදනාකාරී මරණ වන අතරම බොහෝ විට මෙම රෝගීන් අවසාන මොහොත දක්වාම යහපත් සිහිකල්පනාවෙන් පසුවේ.



සතෙකුගේ සපාකෑමකට පෙර සේම සතෙකුගේ සපාකෑමකින් පසුවද රෝගයෙන් වැළකිය හැකියි. සතෙකුගේ සපාකෑමකට ලක්වූ පසු එම තුවාලය සබන් සහ වතුර යොදා මිනිත්තු 15 ක් පමණ සෝදා පිරිසිදු කරගත යුතුයි. මෙම වෛරසය සබන් මගින් විනාශ කළ හැකි අතරම රෝගය ඇතිවනවාද නැතිද යන කාරණ ශරීරයට ඇතුලුවන වෛරස් ප්‍රමාණය අනූව තීරණය වෙයි.



හැකි තරම් වෛරසය විනාශ කිරීමෙන් රෝගය බෝ වීම අවස්ථාව අවම කරගත හැකි වේ. ඉන්පසු අයඩීන් ද්‍රාවණය හෝ 7% මධ්‍යසාර (සර්ජිකල් ස්ප්‍රීතු) ද්‍රාවණය වැනි විශබීජ නාශකයක් යොදා තව දුරටත් තුවාලය පිරිසිදු කරගත යුතුයි. ඊළගට කළ යුතු වැදගත්ම දෙය වනුයේ රෝහලක් වෙත හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමුවීම යි.

views

495 Views

Comments

arrow-up