“මම කවුද කියන එක ගැන දැන ගන්න තව ගොඩක් නිර්මාණ කරන්න තියෙනවා” - ෆැලන් ඇන්ඩ්‍ර්යා

ප්‍රසංග වේදිකාව තුළ තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කිරීමේ හැකියාවක් ඇති රියැලිටි වේදිකාවෙන් කරළියට ආ ෆැලන් ඇන්ඩි්‍රයාගේ අලුත්ම ගීතය පසුගියදා එළිදැක්වුණා. ගීතය නම් කරලා තියෙන්නේ ‘චන්දන’ කියලා. චන්දන කියන ගීතය ගැන වගේම ඇගේ සංගීත දිවිය ගැන අපි පුංචි සංවාදයක නිරත වුණා.
ෆැලන්, මොකක්ද මේ චන්දනගේ කතාව?
මේක නිර්මාණය කරන්න කලින් මම මුලින්ම කතාබහ කරන්නේ මගේ කණ්ඩායමත් එක්ක. එතකොට මට හිතුණ දෙයක් තමයි මම ප්‍රධාන ධාරාවට අනුගත වී සිටින රසිකයන්ට ගීතයක් කරලා නැහැ කියලා. අනික එවැනි නිර්මාණයක් කළොත් ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරයක්ද කියලා දැනගන්නත් ඕනෑ කමක් තිබුණා. ඒ අනුව තමයි චන්දන නිර්මාණය වෙන්නේ.
මෙහි පද රචනය සහ සංගීතය කාගේද?
මෙහි පද රචනය ලසිත ජයනෙත්ති. සංගීතය ඒෂල ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා අතින් නිර්මාණය වුණු ‘චන්දන’ ට මම මගේ කටහඬින් දායකත්වය ලබාදුන්නෙ.
චන්දන, රංගන, වින්දක, උද්දික, රන්දික කතා කරලා මොනවද කිව්වේ?
ඒ ගොල්ලෝ නම් කතා කළේ නෑ. හැබැයි රංගන අයියා නම් කතා කළා. මොකද මේ ගීතයේ ප්‍රචාරණයේදී මුහුණු පොතේ පළ කළානේ රංගන අයියාගේ නම. අන්තිමේ ඒක ලොකු කතාබහට ලක්වුණා. මම හිතනවා ඒක සාර්ථක ප්‍රචාරණ ව්‍යාපෘතියක් කියලා. මම ඒ දවස්වල ජපානයේ සංචාරයක යෙදෙන ගමන් හිටියේ. රංගන අයියත් කතා කරලා ඇහැව්වා “මොකද නංගී වෙලා තියෙන්නේ, මගේ නම දාලා තියෙන්නේ” කියලා. “කට්ටිය මගේ නම මෙන්ෂන් කරනවා. මොකක්ද මේ අවුල” කියලා ඇහැව්වා. ඊට පස්සේ මම කිව්වා “නෑ… නෑ… ඉස්සරහට එන්න තියෙන සින්දුවේ ප්‍රමෝෂන් එකක්” කියලා කිව්වා. නමුත් මට තේරුණා ගොඩක් අය රංගන අයියව මෙන්ෂන් කරනවා වැඩියි කියලා. ඒක හින්දම මම ආපහු පාරක් පෝස්ට් එකක් දැම්මා මේකට රංගන සම්බන්ධ නැහැ කියලා. ඒකටත් කට්ටිය එක එක ඒවා දාලා තිබුණා. මම හිතනවා ප්‍රමෝෂන් කැම්පේන් එක හොඳයි කියලා.
ප්‍රසංග වේදිකාවල වැඩ කටයුතු එහෙම කොහොමද?
ඇත්තටම කාර්යබහුල වෙලා හිටපු හින්දා සින්දුවක් ගැනත් හිතන්න කාලය මදිවුණා. පසුගිය දවස්වල විදෙස් ප්‍රසංග කිහිපයක් තිබුණා. මම ඉස්සරහට ප්‍රසංග පොඩ්ඩක් සීමා කරලා මගේම ස්වතන්ත්‍ර නිර්මාණ එළිදක්වන්නට පොඩ්ඩක් කාලය වෙන් කරන්න තමයි හිතුවේ. ඒකේ ආරම්භයක් වගේ තමයි චන්දන.
ෆැලන්ගේම කියලා කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැතිද?
මගේම කියලා කොන්සර්ට් එකක් කරන්න කාලයක ඉඳලා අදහසක් මට තියෙනවා. ඒ සඳහා ගීතත් ප්‍රමාණවත් විදිහට මට තියෙනවා. තව චුට්ටක් ඉන්න ඕනෑ කියලා මට හිතෙනවා. ගොඩක් අය අහන දෙයක්. හැබැයි මම තමයි මේක කල් දමන්නේ. මම හිතන්නේ ජනතාව අතරට ගිය තව ගීත දෙකක් තුනක් නිර්මාණය වුණාට පස්සේ මට ශක්තියක් ඒවි මගේම කියලා කොන්සර්ට් එකක් කරන්න.
ගොඩක් අලුත් මුහුණු ආවට තවමත් ෆැලන් ගේ ජනප්‍රියත්වය අඩුවක් නැහැ නේද?
මම හිතන්නේ එකම විදිහට පවත්වාගෙන යෑම කියලයි. අපි කරන නිර්මාණ, මාධ්‍ය හසුරුවන විදිහ, ප්‍රේක්ෂකයන්ව හසුරුවන විදිහ වගේ කාරණා එක්ක තමයි සියල්ල තීරණය වෙන්නේ. ඉස්සරහටත් මම ලොකුවට ඉහළට ගිහිල්ලා සීමාව ඉක්මවා යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
සෝඩා බෝතලේ කැඩුවා වගේ එක් රැයකින් ජනප්‍රිය වෙලා නැතිවෙලා යන්න වුවමනාවක් නැහැ එහෙමද?
අනිවාර්යයෙන්ම. බොහොම හෙමින් ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ ආපු ගමන ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?
ගොඩක් සතුටුයි. මම කරලා තියෙන නිර්මාණ ගැන සන්තෝෂයි. මට තව ගොඩක් දුර යන්න තියෙනවා. මම කවුද කියන එක ගැන දැන ගන්න තව ගොඩක් නිර්මාණ කරන්න තියෙනවා. මේ වෙනකොට මම චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගීත ගායනයට ඇවිත් තියෙනවා.
පසුගිය දවස්වල ටෙලිනාට්‍ය ගීත ගායනය සම්බන්ධයෙන් ඔබ නිර්දේශයට පවා ලක්වුණා නේද?
ඔව්. ඒක මට සුවිශේෂයි. මොකද මම ක්ෂේත්‍රයට ඇවිත් ඉතාම කෙටිකාලයයි. අනික මම ක්ෂේත්‍රයට එන්නේ රියැලිටි වේදිකාවෙන්. මාත් එක්ක නිර්දේශවෙලා තිබුණ කට්ටිය දැක්කහමන් මට ගොඩක් සන්තෝෂයි. අභිෂේකා අක්කාට තමයි සම්මානය හිමිවුණේ. සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘තත්ත්පරයක් දෙන්න’ ටෙලිනාට්‍යයට තමයි මාව නිර්දේශ වුණේ. ඒකත් මට ජීවිතේට අමතක වෙන එකක් නැති වෙයි. මොකද පළමු වතාවට තමයි මම සම්මාන උළෙලකදී නිර්දේශ වුණේ.
පසුගිය දවස්වල චිත්‍රපට පසුබිම් ගායනයටත් සම්බන්ධ වුණා නේද?
යුරේනි සහ හේමාල් රංගනයෙන් දායක වුණු චිත්‍රාල් සෝමපාල සංගීත අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටයකට මම ගායනයෙන් සම්බන්ධ වුණා. ඊට අමතරව පසුගිය දවස්වල තිරගත වුණු ‘සෝලෝ ටවුන්’ චිත්‍රපටයේ පසුබිම් ගායනයට වගේම පොඩි චරිතයකටත් රංගනයෙන් දායක වුණා. ඉදිරියේදීත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
රඟපෑමට ආරාධනා ලැබෙන්නේ නැතිද?
රඟපෑමට ආරාධනා ආවා. මම හැම තිස්සේම කියන දෙයක් තමයි මම රඟපාන්න දක්ෂයි කියලා හිතන්නේ නැහැ. මට විහිළුවක් වෙන්න වුවමනාවක් නැහැ. නමුත් හැමෝම අහනවා සෝලෝ ටවුන් එකේ රඟපෑවා නම් ඇයි ඉතිං රඟපාන්න බැරි කියලා.
ඇත්තටම රඟපාන්න බැරි ඇයි?
මට එතැනදී රඟපාන්න තිබුණේ ගායිකාවකගේ චරිතය. ඒක මගේම චරිතයනේ. මට ලොකුවට දෙයක් ආරූඪ කරගන්න තිබුණෙත් නැහැ. මට මම වෙන්න තමයි තිබුණේ. නමුත් මම හිතනවා රඟපෑමට ඊට වඩා ලොකු පරාසයක දැනුම තියෙන්න ඕනෑ කියලා. ඒ විෂය පිළිබඳ දැනුමක් තිබිය යුතුමයි. ඉතිං මම ආසා නැහැ ඒ වගේ දෙයක් හෑල්ලුවට ලක් කරන්න. මට මිනිස්සු හිනාවෙන තැනට යන්න මම කැමැති නැහැ. ඒ හින්ද රඟපෑමට යන්නේ නැති වෙයි.
ෆැලන්ගේ ෆැෂන් ගැන ගොඩක් දෙනෙක් කතාබහ වෙනවා?
ඒවාට ආස නැති කට්ටියත් ඉන්නවා. ආස කට්ටියත් ඉන්නවා. මම හිතන්නේ අපි අපිව ලස්සනට පෙනෙන්න අඳින්න ඕනෑ. මගේ විලාසිතා වලට කැමති අය ඉන්න පුළුවන්. කැමති නැති අය ඉන්නත් පුළුවන්. ඒක ඉතිං සාපේක්ෂයි. අනික ඉතිං අපි කාටවත් හිරි හැරයක් නොවන්න නම් ඒ විලාසිතාව සිදු කරන්නේ මම හිතන්නේ නැහැ ඒක ලොකුවට හිතට ගන්න ඕනෑ කියල. මම විශ්වාස කරන විදිහට මම තැනට සුදුසු විදිහට අඳින කෙනෙක්. ඒ අතර විලාසිතා කරන්න කැමතියි.
ප්‍රසංග වේදිකාවේදී ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
ඇත්තටම හරිම ආදරණීයයි. ගොඩක් වෙලාවට කොළඹින් පිට ප්‍රසංගවලට සහභාගි වෙනකොට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම රියැලිටි වේදිකාවෙන් ආපු ගායිකාවක් විදිහට හරි ආදරණීයයි ඒ ලැබෙන ප්‍රතිචාර. ප්‍රතිචාර හැමදාම නොඅඩුව ලැබෙනවා. ඒක වැඩිවෙලා මිසක් අඩුවෙලා නැහැ. අදටත් ඒ ආදරය හරි පුදුමාකාරයි.
චන්දන ගීතයට සමාජ මාධ්‍ය හරහා ඔබ හොඳ ප්‍රචාරයක් කළා. ඇයි එහෙම කළේ?
අනෙක් ගිීතවලට මම එවැනි දෙයක් කරපු නැති හින්දා ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයන්ට කරපු හින්දා කට්ටියගේ පොඩි අවධානයක් ගන්න කැම්පේන් එකක් කරන්න ඕනෑ කියලා හිතුණා. මොකද අපි කොච්චර හොඳ සින්දුවක් කළත් වැඩක් නැහැ. මෙච්චර හොඳ සින්දුවක් තිබෙනවා කියලා ජනතාව දන්නේ නැත්නම්. හොඳ හෝ නරක මිනිස්සු දැනගන්නවා. අඩුම තරම් මාව දන්නේ නැති කෙනෙක් වුණත් මාව දැනගන්නවා. මං වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන චන්දනගේ ගීතයට අකමැති වුණත් අනෙක් ගීත නරඹන්න අවස්ථාව තියෙනවා. ඉතිං මම හිතන්නේ සින්දුවක් ජනතාවට දෙද්දී ප්‍රමෝෂන් එක ඉතා වැදගත්. මේ පාර ඒ පැත්ත ගැන ගොඩක් හිතුවා.
අද කාලේ ෆැලන් සමග ඉන්න ගායිකාවෝ සෝෂල් මීඩියා ඇතුළේ ලොකු කැම්පේන් එකක් කරනවා. ඔබ වැඩිය ඒ පැත්තට යන්නේ නැහැ නේද?
ඇත්තටම කිව්වොත් එහෙම දෙයක් තියෙන්න ඕනෑ. මේ ක්ෂේත්‍රය ඇත්තටම තරගකාරියි. මම එහෙම කැම්පේන් කරන අයව ඇත්තටම අගයනවා. මොකද එයාල දන්නවා කොහොමද මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑ කියලා. මම සමහර වෙලාවට කල්පනා කරනවා ඇයි මම එහෙම නැත්තේ කියලා. ඇත්තටම එහෙම ඕනෑ. ඒ හේතුව හින්දම මේ ළඟකදී ඉඳලා මගේත් සෝෂල් මීඩියා මැනේජ් කරන්න පටන් ගත්තා. මාත් එක්ක ටීම් එකක් එකතුවෙලා දැන් වැඩ කරනවා. ඇත්තටම සමහර වෙලාවට මම දවසට කොන්සර්ට් හතරකට විතර ගිහිල්ලා සින්දු කියලා එනවා. කවුරුවත් දන්නේ නැහැ මම මොනවද කළේ කියලාවත්. ඒ වගේ අවස්ථාවක දැන් මම ඒක ගැන හිතපු හින්දා දැන් ටීම් එකක් එක්ක මම වැඩ කරනවා.
හැබැයි ඔබේ ජනප්‍රියත්වය අඩුවෙලත් නැහැ. ප්‍රසංගවලින් අඩුවක් වෙලත් නැහැනේ?
ඔව්. ඔව්. මට ආදරය කරන පිරිස එදාට වැඩිය අද ආදරෙයි කියලා තේරුණහම දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ගම, නගරය කියලා දෙයක් නැහැ. මට එකලෙස ආදරයක් ලැබෙනවා. ඒ ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ තරම් ආදරයක් ලබන්න මම හරි වාසනාවන්තයි.
145 Views
Comments