“අපි හොඳට ඉන්නකොට කරන ක්‍රියාකාරකම් වගේ නෙමෙයි, හිතේ හයියෙන් මේ තැනට ආවේ” - පදක්කම පසුපස කතාව ගැන සමිත කියූ සංවේදී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

“අපි හොඳට ඉන්නකොට කරන ක්‍රියාකාරකම් වගේ නෙමෙයි, හිතේ හයියෙන් මේ තැනට ආවේ” - පදක්කම පසුපස කතාව ගැන සමිත කියූ සංවේදී කතාව

“අපි හොඳට ඉන්නකොට කරන ක්‍රියාකාරකම් වගේ නෙමෙයි, හිතේ හයියෙන් මේ තැනට ආවේ” - පදක්කම පසුපස කතාව ගැන සමිත කියූ සංවේදී කතාව

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේදී F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමිත දුලාන් සමත්විය. 

 

ඒ එම ඉසව්වේදී රිදී පදක්කම හිමිකර ගනිමිනි. 

 

පැරාලිම්පික් උළෙලේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ඊයේ (02) රාත්‍රියේ පැවති අතර එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සහභාගි විය.

 

F64 කාණ්ඩය නමින් මෙම ඉසව්ව පැවැත්වුණ ද  F42, F43, F44, F61,F62 සහ F63 යන කාණ්ඩවලට අයත් පැරා ක්‍රීඩකයින් ද මෙම ඉසව්වට සහභාගී විය.

 

කාණ්ඩ කිහිපයක තරගකරුවන් මෙම ඉසව්වට සහභාගි වීම හේතුවෙන් එහි පදක්කම් පිරිනැමුණේ හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් තිදෙනාට ය.

 

සමිත දුලාන් F44 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ අතර එහිදී ඔහු මීටර් 67යි දශම 0යි 3ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

 

එය වාර්තා අතරට එක්වූයේ F44 කාණ්ඩයේ නව ලෝක වාර්තාවක් ලෙසය.

 

සමිත දුලාන් ඊයේ බිඳ හෙලුවේ මීට පෙර මීටර් 66යි දශම 4යි 9ක දක්ෂතාවක් දක්වමින් ඔහු විසින්ම තබා තිබූ ලෝක වාර්තාවය.

 

සමිත දුලාන් F44 කාණ්ඩයෙන් ලෝක වාර්තාවක් පිහිටවුව ද ඔහුගේ දක්ෂතාව සමස්ත ක්‍රීඩකයින්ගේ දක්ෂතා අතරින් දෙවන හොඳම දක්ෂතාව වීම හේතුවෙන් සමිතට රිදී පදක්කම හිමිවිය.

 

රන් පදක්කම ඉන්දියා ක්‍රීඩකයෙක් හිමි කරගත් අතර ලෝකඩ පදක්කම ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් හිමිකර ගත්තේය.

 

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සමිත දුලාන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රදීප් නිශාන්තය.

 

දෙනියායේ උපත ලබන සමිත දුලාන් අධ්‍යාපනය හදාරන්නේ දෙනියාය ජාතික පාසලෙනි.

 

සමිත අවාසනාවන්ත ලෙස රිය අනතුරකට භාජනය වන්නේ 2016 වසරේදීය.

 

සමිත දුලාන්,

"බයික් එකේ යනකොට තමයි අනතුර වුණේ. ඊට පස්සේ මගේ දකුණු පාදය ආබාධයකට ලක්වුණා. අවුරුදු 2ක්ම මම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඊට පස්සේ තමයි මම පැරා ක්‍රීඩාවට යොමු වෙන්නේ. අපි හොඳට ඉන්නකොට කරන ක්‍රියාකාරකම් වගේ නෙමෙයි අවුරුදු දෙකක් එක තැන ඉඳලා පාදයේ ආබාධයත් එක්ක නැවත ක්‍රීඩාව කරන්න ගද්දී ඇත්තටම මට ලොකු අපහසුතාවයක් තිබුණා. නැවතත් මම මගේ හිතේ හයියෙන් ඒ තැනට අවා."

රිය අනතුරකට භාජනය වී ආබාධ තත්ත්වයට පත්වන සමිත දුලාන් එම අනතුරෙන් වසර 8ක් ගතවන විට පැරාලිම්පික් පදක්කම් දෙකක් හිමිකර ගනිමින්, වීර්යය සහ නොපසුබසිනා උත්සාහය පිළිබඳ බොහෝ දෙනෙක්ට ඉතා හොඳ පාඩමක් කියාදෙයි.

සමිත දුලාන් 2021 වසරේ පැවති ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

views

669 Views

Comments

arrow-up