“ඇය හිටියේ ආවේගෙන්, අපි බහින්බස් වුණා” - රමණි බර්තොලමියුස්ගේ මරණයට වගකිවයුත්තා කමල්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

“ඇය හිටියේ ආවේගෙන්, අපි බහින්බස් වුණා” - රමණි බර්තොලමියුස්ගේ මරණයට වගකිවයුත්තා කමල්ද?

“ඇය හිටියේ ආවේගෙන්, අපි බහින්බස් වුණා” - රමණි බර්තොලමියුස්ගේ මරණයට වගකිවයුත්තා කමල්ද?

ඒ සමයේ 'ග්‍රීක දේව රූපයකට' අතිශය සමාන වූ, ලාංකේය රූ රැජින වූයේ ඇයයි. සියල්ලන් වසඟයට ගත් ඈ සන්තක රූප සොබාව ඈටම 'අනන්‍ය' එකක් වූවා. ඈ නමින් රමණි බර්තොලමියුස්.....

 

ඒ සුන්දර රුවැත්තිය හදිසි අනතුරකින් මිය යන්නේ 1987 වර්ෂයේ ජුනි මස 30 වැනිදා .

 

'රමණි'ගේ මරණය 'රියඅනතුරක්' නිසා සිදුවූවත් ඒ මරණයට 'වගකිවයුත්තා' ලෙසින් මේ සමාජය 'එල්ල මරා දැමීමට' සුදානම් වූයේ අන් කවරෙකු හෝ නොව ඈ හා 'පෙම් බැඳි' සිනමාවේ සුන්දර තරුණයා කමල් අද්දරආරච්චිවයි.

 

රමණිගේ මරණය 'මිනීමැරුමක්' යැයි කියූ බොහෝ දෙනෙක් කමල් වෙතට 'ඇඟිල්ල' දිගු කළා වුණත් ඉන් එහා 'කමල්' ඒ ගැන කිසිවක් නොකියා ඉන්න වග බලාගත්තා.

 

ඒ නමුත්.... වසර ගණන් ගතවෙද්දි 'රමණිගේ ඉතිරි මතක' කමල් විසින් එළියට ඇදලා තිබුණා. (ඒවා එච්චරම හිත පාරනවා වුණත්....)

 

'අපි දෙන්නා අතර කිසිම නොගැලපීමක් තිබුණෙ නෑ. ඒක අසීමිත ආදරයක්. ෂූටින් ඉවර වුණා. එයා කොළඹ ඇවිත් බොරැල්ලේ තැනක එයාගෙ යාළුවො කීපදෙනෙක් එක්ක නැවතුනා. මම ඇයව මගෙ අම්මට හඳුන්වලා දුන්නා. රමණි මං ගැන එයාගෙ ගෙදරට කිව්වා. මං එයාගෙ ගෙදර ගියා. එයා මා එක්ක මගෙ ගෙදර ආවා. ඒත් එයාගෙ වෘත්තීය ගිවිසුම් එක්ක අපිට විවාහය කියන එක යථාර්ථයක් කරගන්න ටිකක් කල් ගත වන වග පෙනුණා. ඒත් අපි මොනතරම් ආදරෙන් ද මේ ඉන්නෙ. මම ඇයට යෝජනා කළා අපි මෙහෙම ඉන්න එක තේරුමක් නෑ. දෙන්න කොහෙ හරි තැනක් අරන් එකට ජීවත්වෙමු කියලා. අපි නාවලින් පොඩි තැනක් හොයා ගත්තා. කාමරයක් කුස්සියක් සහිත පොඩි අනෙක්සි එකක්.' (මේ කමල් ඈ ගැන අවදි කෙරූ මතක...)

 

එදා රෑ මට යන්න තිබුණා ජයන්ත චන්ද්‍රසිරිගෙ පොඩි වැඩකට. මම හවස හතට විතර ගියේ දහය දහය හමාර වෙනකොට එන්න බලාගෙන. ඒ ජංගම දුරකථන නැති කාලයක්. අපි ඉන්නෙ කොහෙද යන්නෙ කොතැන්ට ද කියලා නිරන්තරව දැනුම් දෙන්න පුලුවන් කමක් නෑ. වැඩේ දිගටම පැවැත්වුණා. අපි යාලුවො ටික ඒ හමුව සාදයකට හරවා ගත්තා. මම ගෙදර එනකොට පාන්දර වෙලා.'

 

'ඇය හිටියෙ නුරුස්සනා හැඟීමෙන්. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඇය මගෙ අතින් අල්ලනකොට ඇයගෙ නියපොතු මගෙ ඇඟට ඇතුළුවෙනවා මට දැනුනා. ඇය හිටියෙ ආවේගෙන්. කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ප්‍රතිචාරයක්. අපි අතරෙ බහින්බස්වීමක් වුණා. ඇයට මා කී කතාවේ සිද්ධි සමග ඇය යම් කිසි දෙයක් තුළ බරපතල සැකයක සිටි වග මට තේරුණා. මට අවශ්‍ය වුණා ඒ අවස්ථාව සමහන් වෙනකම් යළිත් නිවසින් පිටවෙලා ටික වෙලාවක් ඉන්න. මා යන්න සූදානම් වනකොටම ඇයත් වාහනයට නැග්ගා. ඒක මම තුන් හිතකින්වත් හිතුව දෙයක් නොවෙයි. ඇය රූප සුන්දරියක්. ඇය ඇයගේ මුහුණට ඇඟපතට හිතා මතා හානියක් කරගනී කියන එක මා කවදාවත් විශ්වාස කළේ නෑ. ඒත් ඒ දේ සිද්ධ වුණා. ඇය වාහනයෙන් විසිවෙලා ඔලුව වැදිලා තිබුණා.'

 

'ඇය හිටියෙ සිහි විසංඥ වෙලා. ඇය දැඩි සත්කාර ඒකකයෙ දින තුනක් හිටියා. අවසානයේ ශල්‍යකර්මයක් කළා. ඔබ විශ්වාස කරන්න. ඒ වේදනාව. මම ඒ දවස් තුනේම වතුර ටිකක්වත් බිව්වෙ නෑ. එයා මාව දාලා ගියා. ඒ මොහොතෙ ඇතිවුණු අපේක්ෂා භංගත්වය, හිස් බව, කාලකණ්ණි හැඟීම කියලා ඉවර කරන්න බෑ. ඒ මරණය මාව කම්පනයට පත් කළ තරමටම මා පණ වගේ ආදරය කළ ඇයගෙ මිනී මරුවා මං කියලා සමාජය සැක කිරීම මට දරාගන්න බැරිවුණා. මා මුළුමනින්ම බිඳවැටුණා. ජීවිතය එපා වුණා.'

 

'මාසයක් පොලිස් අත්අඩංගුවෙ හිටියා. මාව අනේක වාරයක් ප්‍රශ්න කළා. මං කුඩු කාරයෙක්, හෙරොයින්වලට ඇබ්බැහි වෙච්චි එකෙක්, සල්ලාලයෙක් කියලා පෙත්සම් එකසිය ගණනක් පොලිසියට ඇවිත් තිබුණා. මාසයක් තිස්සෙ පොලිසිය මාව රඳවගෙන හැම උත්සාහයක්ම ගත්තා කුමක් හෝ සාක්ෂියක් හොයාගෙන නඩු දාන්න. ඒත් විද්‍යාත්මක සාක්ෂි හරහා මා කියන්නෙ ඇත්ත කියලා තහවුරු වුණා. අධිකරණය පිළිගත්තා සිදුවුනේ හදිසි අනතුරක් කියලා.'

 

'මම එළියට ආවා. රමණිගෙ තාත්තා මට කිව්වා පුතේ.. මට මට ඔයාව තේරේනවා. ඔයා කවදාවත් රමණිට වරදක් කරලා නැති බව මම දන්නවා කියලා. මට ඒ වචන ටික ප්‍රමාණවත් වුණා ජීවිතයට මුහුණ දෙන්න. ඒ තාත්තා දැන් ජීවතුන් අතර නෑ. රමණිගෙ අම්මා මගෙ අම්මා වගේ තවමත් මං ගැන බලනවා. කතා කරනවා. මගෙ අම්මා රමණිගෙ අම්මා බලන්න යනවා.'

 

 

'ඒත් මේ රටේ මිනිස්සු තවමත් මට චෝදනා කරන්නෙ මං මිනීමරුවෙක් කියලා. මං පොලිසියට අධිකරණයට සල්ලි වියදම් කරලා බේරුණා කියලා. අදත් මට එහෙම කියන අය ඉන්නවග දන්නවා. තමන් ජීවිතයේ අන්ත අසරණ කරන නොමරා මරණ උදවියව විචාර බුද්ධියක් නැතිව අන්ධ විශ්වාසයෙන් අදහමින් බලයට පත් කරන බහුතරයක් ඉන්න රටක මිනිස්සුන්ගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ. මං වරදක් කලා නම් මම කවදා හරි ඒ වැරැද්දට වන්දි ගෙවිය යුතුයි. ඒත් ඒ එහෙම දෙයක් වුණේ නෑ. මම ඒ හැඟීමෙන් නිදහස්...'

 

'එයා නැතිව මං පත්වුණු තත්වය කිසිම මිනිහෙකුට ඇති වෙන්න එපා. ආදරය කියන එක ඇතිවෙලා නැතිවෙන්න පුලුවන්. මම තවමත් මගෙ ජීවිතයේ මගේ ධර්මයට අනුව මා කරන යම් කුසලයක් තියනවා නම් ඒ හැම වෙලාවෙම රමණියි එයාගෙ තාත්තයි සිහි කරල ඒ පින් අනුමෝදන් කරනවා. ඒත් එකම එක දෙයක් මේ සමාජයෙන් ඉල්ලා සිටින්න ඕන. කවදාවත් තමන් ආදරය කරන කෙනාගෙ ජීවිතය අපායක් කරන කිසිම දෙයක් කරන්න හොඳ නෑ.'

 

(ටානියා මෝසස් රසඳුන අතිරේකයට ලියූ ලිපියක් ඇසුරිනි!)

views

382 Views

Comments

arrow-up