“ඉගෙනීම තමයි ඕනෑම කෙනෙක්ට තමන්ව දිනවන්න අගනාම මෙවලම” - කසළ ගොඩෙන් බිහිවුණු වෛද්‍යවරියගේ කතාව (PHOTOS)

'ඉගෙනීම තමයි ඕනෑම කෙනෙක්ට තමන්ව දිනවන්න, තමන්ව බබළවන්න තියෙන අගනාම මෙවලම'
ජීවිත උස් තැනකට අරන් යන්න ඉගෙනීමට වඩා දෙයක් ඇත්තේ ම නෑ.
ඊට උදාහරණ ඕනෑ තරම් ඔබ අහලා දැකලා ඇති.
ඉන්දියාවෙන් ඇහෙන මේ කතාවත් ඒ ගොඩට ම එක්කාසු වන කතාවක්.
ඇය නමින් 'පින්කි හර්යාන්' (Pinki Haryan)
කුඩා කල කසළ ගොඩවල් අවුස්ස අවුස්සා බඩ වියත රැකගන්න ඔට්ටු ඇල්ලූ ඇය, තවත් නොබෝ දිනකින් වෛද්‍යවරියක් වෙන්න සූදානම්. ඒ, චීනයේ MBBS උපාධිය සම්පූර්ණ කරමින්.
පින්කි හර්යාන් උපත ලබන්නේ හිමාචල් ප්‍රදේශ්වල.
ඒ, අර කිව්වත් වගේ අන්ත අසරණ දුප්පත් දැරියක් හැටියට.
සරලවම කිව්වොත් ඇයට සිද්ද වෙනවා, බඩගින්න නිවාගන්න පාරක් පාරක් ගාණෙ කුණු ගොඩවල් අවුස්සන්න.
එහෙමත් නැත්නම් ඇයට වෙනවා 'ළමා යාචකයෙක්' හැටියට පාරට වැටෙන්න.
එයාකාරයෙන් ජීවිතයේ අන්ත දුෂ්කර ම කාර්තු පසු කළ ඇය, දැන් සූදානම් සිය ප්‍රජාව වෙනුවෙන් සේවය කරන්න. ඒ වෛද්‍යවරියක් හැටියට.
පින්කි හර්යාන්ගේ දෛවය වෙනස් වෙන්නෙ 2004 දී.
ඒ, ටිබෙට් සරණාගත භික්ෂුවක් සහ ධරම්ෂාලා හි පිහිටි පුණ්‍ය භාරයක අධ්‍යක්ෂ ලොබ්සාං ජම්යැං හට ඇයව ඇස ගැටීමත් එක්ක.
එහෙම ඇහැ ගැටුණු ඇයව මුණගැහෙන්න දින කීපයකට පස්සෙ ඔවුන් චරන් කුඩ් හි පිහිටි මුඩුක්කු පොකුර දිහාවට ගොස් තිබුණා.
එතැනදී ඔවුන් මහත් වෙහෙසක් අරන් තිබුණා, දියණියගේ හැකියාවන් ගැනත් දියණියට අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව ගැනත් ඇගේ දෙමාපියන්ට ඒත්තු ගන්වන්න.
ඒක පොඩි මෙහෙයුමක් කිව්වොත් හරි.
අවසන, එම මෙහෙයුම සාර්ථක වෙනවා.
පසුකාලීනව පුණ්‍ය ආයතනයේ සහාය ඇතිව පිංකිව පාසලකට ඇතුළත් කරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.
ඒ, අදාළ භාරය විසින් පිහිටුවන ලද අසරණ දරුවන් සඳහා වූ නේවාසිකාගාරයක පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සිසුවියක් හැටියට.
"දරිද්‍රතාවය කුඩා කල සිටම විශාලත ම අරගලයයි.
මගේ පවුල විපතට පත්ව සිටිනු දැකීම වේදනාකාරී වුණා. මම පාසලට පැමිණි පසු ජීවිතය සාර්ථක කරගැනීමේ අභිලාෂයක් ඇති කර ගත්තා.
ළමා වියේදී මම ජීවත් වුණේ මුඩුක්කුවක. එම පසුබිම මගේ ලොකුම පෙළඹවීම බවට පත් වුණා.
වඩා හොඳ සහ මූල්‍යමය වශයෙන් ස්ථාවර ජීවිතයක් සඳහා මම ආශාවෙන් සිටියා...''
ඒ අද පිංකි කියන කතාව....
මූල්‍යමය දුෂ්කරතා හමුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධික ගාස්තු, ඇයට ගෙනදුන් බාධා සුළුපටු ඒවා නෙවෙයි.
නමුදු එක්සත් රාජධානිය පදනම් කරගත් Tong-Len Charitable Trust හි සහාය ඇතිව පින්කි හට චීනයේ කීර්තිමත් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව ලැබිලා තිබුණා.
ඒ අනුව වසර ගණනාවක ඇගේ වෙහෙස මහන්සිය සහ අධිෂ්ඨානය මේ වෙද්දි ඇයව 'සුදුසුකම් ලත් වෛද්‍යවරියක්' දක්වා එක්කාසු කරගෙන ඇවිත්.
ඇය මේ වෙද්දි විදේශ වෛද්‍ය උපාධි විභාගයට (FMGE) සූදානම් වෙමින් පසුවන බව සඳහන්. ඒ, ඉන්දියාවේ වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා බලපත්‍රය ලබා ගැනීමට.
තමන්ගෙ කතාව ඇතුළෙ පින්කි කියනවා, වෛද්‍යවරියකගේ කාර්යභාරය ගැන තමන්ට කිසිම අවබෝධයක් නැති වුණත් සිය ප්‍රජාවට උපකාර කරන්න තමා නිරන්තර ආශාවෙන් පසුවුණු බව.
ඒත් එක්කම ඇය නිතරම කියන කතාව තමයි, ලොබ්සාං ජමියන්ග් තමන්ව විශ්වාස කළ බව.
"කිසිවෙකු නොකළ විට ඔහු මා විශ්වාස කළා. ඔහු මගේ ශ්‍රේෂ්ඨතම ආධාරක පද්ධතිය විය..."
218 Views
Comments