සිංහල සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයා “විජය”ගේ 79 වැනි ජන්ම සංවත්සරය සැමරෙයි (PHOTOS)

විජය කුමාරණතුංග, සිංහල සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයාගේ 79 වැනි ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුනා.
1945 වසරේ අද වැනි දිනක රාගම මහරෝහලේ උපත ලැබු කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග, නොහොත් විජය කුමාරතුංග ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රියතම නළුවෙක් සේ ම දේශපාලනඥයෙක් ද වනවා.
ඔහුගේ මුල් නම විජය කුමාරණතුංග වුවත් පසුකලෙක ඔහු තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගෙන තිබෙනවා.
සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයාගේ සැබෑ ජීවිතයේ බිරිඳ වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි.
විජය කුමාරතුංගගේ පියා ගම්මුලාදෑනි වූ කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග මහතා වන අතර මව බියට්‍රිස් කුමාරණතුංග මහත්මියයි.
සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් ද ඔහු අධ්‍යාපනය හදාරා තිබෙනවා.
විජය, එකල සිටි අගමැතිවරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතාගේ (එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) සහ ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කර ගත්තේ 1978 පෙබරවාරි මස 20 වැනිදායි.
සිනමාවේ ප්‍රේමවන්තයා, සිය සැබෑ ජීවිතයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.
සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇති විජය කුමාරතුංග, සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වී තිබෙනවා.
විජය කුමාරතුංගයන් සිනමා දිවියට අත්පොත් තැබුවේ, සුගතපාල සෙනරත් යාපා මහතාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින්.
ඔහු චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකව තිබෙනවා.
එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතරට අයත්.
සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබුවේ ද සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයා විසිනි.
එය සිනමාවේ වාර්තාගත පිහිටුවීමක් ද වනවා.
ඔහු මිය ගිය පසු ද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා චිත්‍රපටයේ ඔහුගේ රංගනයට සම්මාන ලැබූ අතර එය තිරගත වුණේ 1989දීයි.
විජය, සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ අතර 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී මනාප 19,738ක් ලබාගෙන තිබුණා.
ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදී තිබෙනවා.
මැතිවරණයෙන් පසුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 වැනිදා විජය කුමාරතුංග මහතා හට, සිරදඬුවම් නියම වූ අතර 1983 ජනවාරි 18 වැනි දින ඔහුව නිදහස් කෙරුණා.
1986 වසරේදී විජය කුමාරතුංගයන් L.T.T.E. කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිළ ජනතාව හමුවීමෙන් පසුවයි L.T.T.E. තරුණ නායකයින් හමුවුණේ.
1988 පෙබරවාරි 16 වැනි දින දහවල් 12.20ට පමණ, විජය කුමාරතුංගයන් ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.
විජය කුමාරතුංගගේ ඝාතකයා වූයේ ලයනල් රණසිංහ යි.
"විනාඩි 5ක් හෝ 6ක් පමණ පාරේ සිටින විට අප දුටුවා විජය කුමාරතුංග නිවසින් එළියට එනවා. ඔහු තනියම ඇවිත් නිවසේ ගේට්ටුව ළඟ කෙනෙක් සමඟ කථා කළා. එම කථා කරන පුද්ගලයා කලිසමක් සමග ෂර්ට් එකක් ඇඳ සිටියා. ඊට පසු හේරත් සහ මා ගොස් බයිසිකලයේ නැග්ගා. මා බෑග් එක ඔඩොක්කුවේ තබා ගෙන සිප් එක ඇර, සේෆ්ටිය පහළට දමා තුවක්කුව අතට රැගෙන හේරත් සමඟ මෝටර් සයිකලයෙන් පැමිණ විජය කුමාරතුංග නැවතී සිටි ස්ථානයට යාර 20කට පමණ දුරින් පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට. ඔහුගේ අතේ කොළ දමා නවන ලද ෆයිල් එකක් තිබුණා. ඔහු නැවතී එතන සිටි අයෙක් සමඟ කථා කරමින් සිටියා. මා බයිසිකලයේ උඩ නැවතී සිට ටී 56 රයිෆලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක් තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට විජය කුමාරතුංග වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතනට ගොස් ඔහුගේ ඔළුවට වෙඩි කිහිපයක් තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කථා කරමින් සිටි පුද්ගලයා ගේ පැත්තට දුවන්න වුණා. මා ඔහුට ද, වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ බඩල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්කෙනෙක් සිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා"
මේ එදා ඔහු පොලිසිය හමුවේ කළ පාපොච්චාරණය යි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කුමාරතුංගයන් රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත්, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බවටයි විශ්වාස කෙරුණේ.
විජය කුමාරතංගුයන්ගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වූවක්.
හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපීව තිබූ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබූ අතර ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 වැනි දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරුණා.
සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයා, දේශපාලනයේ දැවැන්තයා, එදත් අදත් හෙටත් සිය නාමය ලාංකිකයින්ට අමතක නොවන්නට සුන්දර රූපයකින් සුන්දර සිනහව සිනමාව දිග්විජය කළ “විජය කුමාරතුංගයාණෙනි” ඔබ සදා අමරණීයයි... !
පහතින් දැක්වෙන්නේ විජයගේ 79 වන ජන්ම දිනය නිමිත්තෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තබන ලද සටහනයි..
"කවද හරි මගේ ජීවිතය එල්ලුම් ගගෙන් කෙළවර වුණත්, මට ආරකෂා කර ගන්න තියෙන්නේ එකම දෙයයි.
ඒ මගේ දුප්පත් අම්මාගෙ බඩේ ඉඳලා අරගෙන ආපු මනුස්සකම විතරයි.
කවදහරි ඒ මනුස්සකම රැකගෙන ආඩම්බරයෙන් මැරෙන්න පුළුවන් වුණොත් මට ඒ ඇති." - විජය
ඔහුගේ 79 වන ජන්ම දිනය අදයි.
227 Views
Comments