“පුතා අක්කව බේරගන්න වතුරට පැන්නා, ඒත් පුතාත් ගහගෙන ගියා” - මව බේරාගන්න වතුරට පැන්න පුතාවයි ලේලියවයි සැඩ පහර අරන් ගිය හැටි

අත්තනගලු ඔයේ අතු ශාඛාවක් වන වේයන්ගොඩ දී ඇල්ල ඔයේ සැඩ පහරට හසු වූ කාන්තාවක බේරාගැනීමට පෙරේදා (07) පස්වරු 06.30ට පමණ දියට පැන්න තරුණයෙකු සහ එම තරුණයා බේරා ගැනීමට ගිය ඔහුගේ පෙම්වතියද දිය පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර පොලිසිය සහ හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින් තරුණයාගේ මළ සිරුර කිලෝමීටරයක් ඈතින් වූ වෙල් යායකට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ දියේ ගසාගෙන ගොස් ඇත්තේ වේයන්ගොඩ මැදවත්ත ප්‍රදේශයේ දීඇල්ලේ ඔය මායිමේ පිහිටි කුලී නිවසක පදිංචිව සිටි ඩිලාන් මධුසංඛ සහ ඉමල්කා මධුවන්ති නැමැති අවුරුදු 18 වයසේ වූ පෙම් යුවළකි.
සැඩ පහරට හසු වූ කාන්තාව කොහේ ඉවුරේ තිබූ ගසක එල්ලී දිවි බේරාගෙන ඇත. දියේ ගසාගෙන යන තරුණයා සහ තරුණිය බේරාගැනීමට තරුණයාගේ මව සහ දියණියද දියට බැස ඇති අතර ඔවුන් ගස් අතුවල එල්ලී ජීවිත බේරා ගෙන ඇත. පෙම්වතුන් යුවළ පදිංචිව සිටි කුලී නිවස දීඇල්ලේ ඔයට යාබදව පිහිටා ඇත.
අතුරුදන්ව ඇති තරුණිය සහ තරුණයා සොයා ඊයේ (08) පෙරවරුවේ වේයන්ගොඩ පොලිස් ස්ථානයේද සහාය ඇතිව නාවික හමුදා කිමිදුම් අංශය මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර වෙල් යායකින් මතුවී තිබේ.
මේ වන තෙක් තරුණිය සොයා ගැනීමට හැකි වී නැත.
තම ඇස් ඉදිරිපිටම සිය පුතා සහ ලේලිය දිය යට සැඟව ගිය වේදනාව සිතේ දරා ගනිමින් මව මෙසේ පැවසුවාය.
“අපිට හිතවත් අක්ක කෙනෙක් වතුරට බැස්ස. ඒ වෙලාවේ ලොකු වතුරක් තිබුණ නිසා මම වතුරට බැස්සේ නෑ. ඒත් එක්කම ලොකු සැඩ පාරක් ඇවිත් අක්කව ගහගෙන ගියා. ඒත් එක්කම මගේ පුතා අක්කව බේරගන්න වතුරට පැන්නා. ඒත් පුතාට අක්කව බේර ගන්න බැරුව වතුරට ගහගෙන ගියා. අක්කා යාන්තම් අත්තක එල්ලිලා හිටියෙ. පස්සේ පුතා බේරගන්න මගේ දුව වතුරට පැන්න. දුවටත් මල්ලිව බේර ගන්න බැරිව වතුරට ගහගෙන ගියා. ඒත් දුව වතුරට නැමිල තිබුණ පොල් අත්තක එල්ලුණා’ ඒ වෙද්දි පුතා ගහගෙන ඈතට යනව. ඒ වෙලාවේ පුතා එයා බඳින්න ඉන්න දුවට අත වනල තියෙනව. ඒ වෙලාවෙදි මාත් එක්ක කිව්වා අම්මේ අයියව වතුරට ගහගෙන යනවා එයා අත වනනවා කියල ඒත් එක්කම ඒ දුවත් වතුරට පැන්න. එයාටවත් පුතාව බේරගන්න බැරුව ගියා. ඒත් එක්කම මමත් වතුරට පැන්නා පුතාවයි ලේලියි බේරගන්න. ඒත් මට ඒ දෙන්නව බේරගන්න බැරි නිසා මම ආපහු ගොඩට පීනුව. ගොඩට ඇවිත් ආපහු හැරිල බලද්දි පුතයි ලේලියි නොපෙනී ගියා. අනේ මට පුතයි ලේලියි බේරගන්න බැරි වුණා.”
311 Views
Comments