ආදරය යනු අකුරු හතරක් පමණක් නොවන බව ලොවට පසක් කරමින් පෙම්වතුන් ලෙස ඔවුන් මළ හිරු රැස් බැසයන මොහොතකදී එකටම මිහිදන් වූහ

සමහර හමුවීම් හරි පුදුමාකාරයි..
ඔවුන්ගේ සසර ගනුදෙනු මෙහෙම කෙළවර වෙයි කියලා කවුරුත් මොන වෙලාවකවත් හිතන්නේ නැතුව ඇති..
එලෙස අවසන් ගමන් ගිය ඔවුන් ගැන ඇසෙන මේ දුක්බර පුවත වාර්තා වෙන්නේ පස්යාල, රදාවඩුන්න ගම්මානයෙන්..
මෙසේ අවසන් ගමන් ගියේ පස්යාල, රදාවඩුන්න පදිංචිව සිටි වේවැල් කර්මාන්තකරුවකු වූ 58 හැවිරිදි ආර්. කේ. නාමල් කුමාර සහ ඔහුගේ බිරිය වන 60 හැවිරිදි දුලානි සමරනායක යන අයයි... මොවුන්ට සිටියේ එක් පුත්‍රයෙකි.
උපතින්ම හදවතේ සිදුරක් ඇතිව ජීවත් වූ මිය ගිය දුලානි ජීවිත කාලය පුරාවටම එම රෝගය සඳහා ඖෂධ ලබාගෙන තිබුණා... හදවත් රෝගියකු බව දැන සිටියත් දුලානි සමඟ ආදරයෙන් වෙළුණු නාමල් ඇය විවාහ කර ගත්තේ තම ජීවන ගමන යෑමට සුදුසුම සහකාරිය ඇය වන නිසා විය යුතුයි.. ආදර සම්බන්ධයකින් දුලානි සහ නාමල් විවාහ දිවියට ඇතුළු වන්නේ දෙපාර්ශ්වයේම ආශිර්වාදයෙන්...
විවාහ වූ දා පටන් මේ දෙදෙනා ඉතා සතුටින් එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරමින් ආදරණීයව ජීවිතය ගත කළ යුවළක් බව ප්‍රදේශවාසීහු සඳහන් කළේ වත්මන් සමාජයේ පවතින පවුල් ආරවුල් සිහිපත් කරමින්..
නාමල් පවුල රැකගැනීමට වේවැල් භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කළ අතර, ඒ සඳහා දුලානිගෙන් ලැබී ඇත්තේ නොමඳ සහායක්... ඉකුත් දිනෙක දුලානි හදිසියේ අසනීප වූයෙන් ඇය වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.. දුලානිව පරීක්ෂා කළ වෛද්‍යවරුන් නාමල්ට පවසා ඇත්තේ තව සතියක් පමණ යන විට ඇය මෙලොව හැර යනු ඇති බවයි.. ඒ තරමට ඇගේ හදවත දුර්වල බව වෛද්‍යවරුන්ගෙන් දැන ගත් නාමල් කල් ගත කර ඇත්තේ දැඩි වේදනාවකින්.. තමන් සමඟ සංසාර ගමනේ එකට පැමිණි සිය බිරිය තව දින කිහිපයකින් තමන් තනිකර යන බව දැනගත් මොහොතේ සිට නාමල් දැඩි කම්පනයට පත්ව තිබුණා... මේ සිද්ධිය සම්බන්ධව පවුලේ කිසිවකුත් දැනුම්වත් නොකිරීමට නාමල් අදහස් කළත්, අවසානයේ පවුලේ ඥාතියකුට මේ බව පැවැසීමට ඔහු තීරණය කළ බවයි ඥාතීන් පවසන්නේ..
දුලානි රෝහලෙන් ටිකට් කපාගෙන නිවෙසට පැමිණි අතර, නාමල් ද හදිසියේම රෝගාතුර වී තිබුණා... ඔහුට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් දුන්නද සියලූම උත්සාහයන් ව්‍යර්ථ කරමින් නාමල් සදහටම නෙත් පියාගත්තේ සිය බිරිය නොමැති ලොවක තනියම සිටීමට නොහැකි බව පසක් කරමින්...
හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය නාමල්ගේ නිසල දේහය නිවෙසට රැගෙන ආව ද දේහය තැන්පත් කළේ කොළඹ නුවර පාර අද්දර වූ වෙනත් ස්ථානයකයි..
දැඩි ලෙස ශෝකාකූල වූ නාමල්ගේ බිරිය එම ශෝකය යටපත් කරගෙන නාමල්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සියලු හිතමිත්‍රාදීන් පිළිගනිමින් ඔවුන්ට කතාබහ කිරීමට අමතක නොකළ අතර, එය එසේ සිදු වෙද්දී නාමල්ගේ බිරිය යළි අසනීප වුණා.. ඇය වරකාපොළ මූලික රෝහලට රැගෙන ගිය ද ඇගේ ජීවිතය බේරා ගැනීමට කිසිවකුටත් නොහැකි වූ අතර, ඇය ද සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් සමුගෙන සදහටම දෙනෙත් පියාගත්තා..
වසර ගණනක් ජීවිතයේ දුක සැප බෙදාගත් ආදරණීය ස්වාමිපුරුෂයා සමඟම ඇය ද අවසන් ගමන් යෑමට තීරණය කළා විය හැකියි... මේ යුවළගේ දේහයන් එකම ගොඩනැඟිල්ලක එකටම තබා එකම දිනෙක මිහිදන් කිරීමට ඥාතීන් විසින් තීරණය කර තිබුණා.. ඒ අනුව ඉඹුල්ගස්ඕවිට පොදු සුසාන භූමියේදී දෙදෙනාගේම දේහයන් ඉකුත් සති අන්තයේ එකම වළක මළ හිරු රැස් බැසයන මොහොතක මිහිදන් කර තිබුණා..
දුලානි සහ නාමල් විවාහ වූයේත්, එකම පුත්‍රයා ඉපදුනේත්, මේ යුවළ මියයෑමෙන් පසු දේහයන් තැන්පත් කළේත් එකම ගොඩනැඟිල්ලක වීම සුවිශේෂත්වයක් බව ඥාතීහු සඳහන් කළා..
193 Views
Comments