“මගේ ජීවිතය රෝස මල් යහනක් වුණේ නැහැ” - අම්බානෙකට වියදම් කරලා වෙඩිම ගත් අම්බානිගේ පුතු සියල්ලන් හඬවමින් කල කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

“මගේ ජීවිතය රෝස මල් යහනක් වුණේ නැහැ” - අම්බානෙකට වියදම් කරලා වෙඩිම ගත් අම්බානිගේ පුතු සියල්ලන් හඬවමින් කල කතාව

“මගේ ජීවිතය රෝස මල් යහනක් වුණේ නැහැ” - අම්බානෙකට වියදම් කරලා වෙඩිම ගත් අම්බානිගේ පුතු සියල්ලන් හඬවමින් කල කතාව

අද කාලේ වෙඩිමක් ගන්නවා කියන්නෙම බොහෝදෙනෙක්ගෙ හීනයක්.

 

යන වියදම එක්ක ගළපලා බැලුවාම, ''හඳ පානෙම පැනලා යන එක ලේසියි'' කියලා හිතෙන තරමට වෙඩිමක් කියන්නෙ ''සැර වියදමක් යන වැඩක්''

 

එහෙව් කාලෙක වෙඩිමට ඉස්සර ''පෙර වෙඩිමක්'' (pre-wedding celebration) ගන්නත් කෙනෙක් හිතනවා නම්, ඒ පුද්ගලයා අනිවාර්‍යයෙන්ම සුපිරි ධනපතියෙක් වෙන්නම ඕනි.

 

එහෙම රජ මඟුලක් ගැන තොරතුරු මීට ඉහත අපි ඔබට අරගෙන ආවා මතක ඇති.

 

ඒ වෙනින් කාගෙවත් නෙවෙයි දකුණු ආසියාවේ වඩාත්ම ධනවතුන් අතර ඉහළින්ම නම කියවෙන ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගෙ (Mukesh Ambani) බාල පුත්‍රයාගේ වෙඩිම.

 

එහෙමත් නැත්නම් 28 හැවි­රිදි අනන්ට් අම්බානි - 29 හැවි­රිදි රාධිකා මර්චන්ට් (Anant Ambani-Radhika Merchant) යුවළගේ විවාහ උත්සවය.

 

මේ යුවළගේ පූර්ව විවාහ මංගල උත්සවය මාර්තු 1 සිට මාර්තු 3 දක්වා ගුජරාටයේ ජම්නගර් හි දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

 

ලෝකයේ වඩාත්ම ධනවත් හා බලගතු පුද්ගලයින් ඇතුළු 1,000 කට අධික අමුත්තන්ගේ සම්භාවනීය රැස්වීමක් හා සමවූවා එය.

 

ඊට එක්කාසු වුණු ආරාධිත නම් ලැයිස්තුවට මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුළු සෑහෙන දෙස් විදෙස් ධනවතුන් පිරිසක් අයත්.

 

ඒ ආරාධිත ලැයිස්තුවේ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනත් එක් අයෙක්.

 

අනන්ට් - රාධිකා ගෙවුණු වසරේ (2023) ජනවාරියේදීයි සාම්ප්‍රදායික විවාහ උත්සවයකින් සිය විවාහ ගිවිස ගැනීම සිදුකළේ.

 

පස්සෙ සංවිධානය වුණු ලොවක් අවධානය යොමුකළ මෙම තෙදින පෙර-විවාහ උත්සවයෙනුත් මේ මඟුල් කෑම අවසන් වන පාටක් නෑ.

 

මොකද ඔවුන්ගේ විවාහ මංගල උත්සවය මේ වසරේ එළඹෙන ජුලි 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

 

පෙර-විවාහ උත්සවය මෙහෙම නම් ''විවාහ මංගල උත්සවය'' කොහොම එකක් වේවිද !!

 

අනන්ට් - රාධිකා යුවළගේ මේ අපූරු සාදයේ සිරි අසිරි නරඹන කාගෙත් හිතට එන පළවෙනි සිතුවිල්ල තමයි ඒක.

 

ප්‍රණීත සුපිරි පන්නයේ විශේෂ ආහාර පාන, විශේෂ අංග රැගත් තෙදින පූර්ව විවාහ උත්සවය තේමාවන් තුනකට පැවති බව සඳහන්.

 

ඒ අනුව එහි පළමු දිනය 'An Evening in Everland' තේමාව රැගත් අතර ඊට හවස්වරුවට උචිත ඇඳුම් පැළඳුම් යෝජනා කර තිබිණ.

 

දෙවැන්න 'A Walk on the Wildside' වූ අතර සත්ත්ව රූප රැගත් වනාන්තරයක සංචාරයක සිරි මවන ඇඳුම් අමුත්තන් විසින් තෝරාගෙන තිබුණා.

 

එය අක්කර දහස් ගණනක සතුන් සහ ගස්වැල්වලින් අනූන අම්බානිගේ වත්තේ ඇවිදීමට අමුත්තන්ට ඉඩ සලසා දීමකි.

 

අවසාන දිනය නම්ව ඇත්තේ "tusker trails" නමිනි. එය ජම්නගර් හි අසිරිය විඳ ගැනීමට ඉඩ සැලසීමක් ලෙස පැවති බව සඳහන්.

 

දෙස් විදෙස් කලා තරු පිරි මෙම දින තුන බටහිර ගී තාරකාවක් වන රිහානාගෙන් හැඩවීමත් සුවිශේෂී කාරණයක්.

 

බොලිවුඩ් හොලිවුඩ් සුපිරි තරු පෑයු, ලොව සුපිරි ධනවතුන් ආව ගිය මේ අපූරු පෙර මංගල සාදයේ විශේෂ අවස්ථා කිහිපයක්ම ගැන ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා.

 

ඒ අතර ප්‍රධානයි, අනන්ට් සිය පියා වන මුකේෂ් අම්බානිගේ දෑස් කඳුළින් තෙත් කළ සංවේදී කතාව.

 

ඔහු සිය තුන්දින මහා පූර්ව විවාහ උත්සවයේ පළමු දිනයේ හැඟීම්බරව කළ පිළිගැනීමේ කතාවේ වස්තු බීජය වෙලා තිබුණේ තමන්ගේ ''ළමා කාලයේ සෞඛ්‍ය අරගලය''.

 

ඒ අරගලය ජය ගන්න දෙමාපියන් දැක්වූ සහයෝගය අගය කරමිනුයි අනන්ට් විසින් එහි පැමිණි සියල්ලන්ම සංවේදී කරලා තිබුණෙ.

 

දෙමාපියන්ට වගේම පෙම්වතිය වන රාධිකාට කෘතවේදී වීමට ද ඔහු අමතක කර තිබුණේ නෑ.

 

ඔහු එහිදී තමාව හඳුන්වා දී තිබුණේ ''වාසනාවන්තම මිනිසා'' හැටියට.

 

''මගේ පවුලේ අය මට විශේෂ හැඟීමක් ඇති කරන්න සියලු කටයුතු සූදානම් කරලා.

පහුගිය මාස 2-3ක ඉඳන් හැමෝම නිදාගන්නේ දවසට පැය 3කටත් වඩා අඩු කාලයක්.

මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රෝස මල් යහනාවක් නොවීය.

මම කුඩා කල සිටම සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දුන්නා.

නමුත් මගේ පියා සහ මව කිසි විටෙකත් මට ඒවා දුකක් හැටියට දැනෙන්න ඉඩක් දුන්නෙ නෑ.

ඔවුන් හැම වෙලාවකම මම වෙනුවෙන් පෙනී සිටියා.

අම්මා, ඔබ කළ සියල්ලට ස්තූතියි.

මේ සියල්ල නිර්මාණය කළේ මගේ අම්මා මිස වෙන කවුරුත් නෙවෙයි.

පහුගිය මාස හතර තුළ ඇය දිනකට පැය 18-19 අතර කාලයක් වැඩ කළා.

දෙමාපියන් කෙරෙහි එලෙස කෘතවේදී වූ ඔහු සිය පෙම්වතිය ගැනත් මෙලෙස වචන එක්කාසු කර තිබුණා.

''මම සියයට සියයක්ම වාසනාවන්තයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ.

රාධිකා මට ලැබුණේ කොහොමද කියලා මමත් දන්නේ නෑ.

මම ඇයව අවුරුදු හතක් තිස්සේ හඳුනනවා. නමුත් අපි අද ඊයේ හමු වූවාක් මෙනි.

දවසින් දවස මම තව තවත් ඇයට ආදරයෙන් බැඳෙනවා...''

 

මිත්‍රත්වයේ සිට ප්‍රේමය දක්වා පැමිණි අනන්ට් - රාධිකා පෙම් පුවත සම්ප්‍රදායික රාමුවක් තුළ නූතන ආදර කතාවකට ආදර්ශයක් සපයන්නක් හැටියටයි බොහෝ ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබුණේ.

 

අම්බානි පවුල කොහොමත් අති උත්කර්ෂවත් සැමරුම් සඳහා වඩාත් ප්‍රසිද්ධයි. මේ ඉන් එකක් විතරයි.

 

එය විස්තර කෙරෙන්නේ හුදෙක් සිය මූල්‍යයමය හැකියාව පෙන්නුම් කරන්නක් විතරක්ම නොව පවුල, ආදරය ,කැපවීම, සම්ප්‍රදාය, එකමුතුකම යනාදී සියල්ලේම එකතුවක් හැටියට.

 

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව අනන්ට් සහ රාධිකා පෙම් පුවත ඇරඹෙන්නේ ඔවුන් දෙදෙ­නාම අමෙ­රි­කාවේ උසස් අධ්‍යාපනය ලබන කාලයේදී.

 

එහෙම ඇරඹි පෙම් කතාව එලඹෙන ජූලි මාසයේ ලොව ලොකුම, මිලැති ම විවාහ මංගල උත්සවය වනු ඇති.

 

අනන්ට්ගේ වෙඩිමට පෙරාතුව අම්බානි පවුලේ වැඩිමලා ඊෂා අම්බානි යුග දිවියට පිවිසියේත් අනන්ට්ගේ වැඩිමල් සොහොයුරාගේ විවාහය සිදුවූයේත් මෙලෙස බර ගාණක් වි‍යදම් කරමින් බවත් කිව යුතුමයි.

 

විශේෂම කාරණය තමයි ලෝක බලවතුන් ,ධනවතුන් ආව ගිය පූර්ව විවාහ උත්සවය පටන් ගත්තෙම අම්බානිගේ සමාජ සුබ සාධන කටයුතු ගැනත් ලෝකයටම කියාපාමින් වීම.

 

ඒ ඊට දිනකට පෙර ජම්නගර් නුවර පනස් එක්දහසකට වැඩි ගම්වාසීන්ට රාත්‍රී ආහාර වේලකින් සංග්‍රහ කරමින්...

 

එම කටයුත්ත ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට යොමු වුණේ පූර්ව විවාහයට පෙර ගම්වාසීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමක් හැටියට.

views

314 Views

Comments

arrow-up