“මට ඇවිදින්න බැරි නම්, මම බඩගාගෙන හරි යනවා. මම නවතින්නේ නෑ..” - පැරිස් ඔලිම්පික් සමාරම්භයේදී යළි වේදිකාවට ආ සෙලීන් ඩියොන් (PHOTOS)

'විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය' 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (26) ආරම්භ වුණා. ඒ, පැරිසියේදී.
අති උත්කර්ෂවත් අන්දමින් සමාරම්භ වුණු 'පැරිස් ඔලිම්පික්' උළෙල හැඩ කරන්න ලෝක ප්‍රකට තරු රැසක් සහභාගීව උන්නා.
ඒ අතර කාගෙත් අවදානය සොරාගත් ඈ, සෙලීන් ඩියොන් (Celine Dion)
සිය රෝග විනිශ්චයන් ගැන අනාවරණය කිරීමෙන් පසු ඇය වේදිකාවකට ගොඩවුණු පළමු අවස්ථාවයි මේ. ඒ හරියටම වසර හතරකට පසු කළ ඇගේ පළමු සජීවී ඉදිරිපත් කිරීම.
ඇගේ යළි වේදිකා ආ ගමනය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, 'සෙලීන් ඩියෝන්ගේ විශිෂ්ට ප්‍රවේශයක්' හැටියට.
මීට ඉහත ඇය Lady Gaga සමඟ යුගල ගායනයක් කරන බවට කටකතා පැතිරී තිබුණ ද, අවසන එය සෙලීන්ගේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් බවට පත්ව තිබුණා.
අලංකාර විලාසිතාවකින් සැරසීගත් සෙලීන්, සිය අනන්‍යතාව යළි යළිත් ආවර්ජනය කර සිටීම නිරායාසයෙන් ම ඇගේ රසික සමූහයාගේ ඉමහත් සතුටට ඉවහල්ව ඇති සෙයකි.
මීට පෙර වාර්තා වුණු ආකාරයට සෙලීන් ඩියෝන් දුර්ලභ ස්නායු අබාධයකින් (Stiff Person Syndrome - SPS) පෙළෙන බවයි සඳහන් වූයේ.
ඒ අනුව 56 හැවිරිදි ඈ, 2022 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ තමා සෞඛ්‍ය කෙරෙහි අවදානය යොමුකරනුවස් 'වෘත්තීය කැපවීමක්' කරන බව.
එවන් තත්ත්වයක සුප්‍රසිද්ධ "My Heart Will Go On" ඈ අවසන් වරට සජීවීව ඉදිරිපත් කළේ 2020 මාර්තු මාසයේදී නිව් ජර්සි හි බව සඳහන්.
පසුගිය මාසයේදී සෙලීන්, නිකුත් කරන ලද ඇගේ නව වාර්තා චිත්‍රපටය "I Am: Celine Dion" ප්‍රවර්ධනය අතරතුර තමාට දැනෙන වේදනාවන් පිළිබඳව ද විස්තර බෙදාගෙන තිබුණා.
වරෙක ඇය හුවාදක්වා තිබුණේ තමා පසුවන තත්ත්වය සමඟ ගායනා කිරීමට උත්සාහ කිරීම පවා 'කවුරුන් හෝ ගෙල සිර කරනවා වැනි' හැඟීමක් වන බව.
කෙසේ නමුදු ඇය වඩාත් අවධාරණය කළ දෙයකි,
“මට දුවන්න බැරි නම් මම පයින් යනවා.
මට ඇවිදීමට නොහැකි නම්, මම බඩගා යනවා.
මම නවතින්නේ නැහැ. මම නවතින්නේ නැහැ...." යන්න.
සෙලීන්ගේ ඉදිරිපත් කිරීම ගැන අදහස් දැක්වූවන් අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පවසා තිබුණේ,
"කැනේඩියානු නිරූපිකාවක්, ඇදහිය නොහැකි දක්ෂතාවයක්. ඇය අද රාත්‍රියේ බොහෝ දේ ජයගත්තා.
සෙලීන්, ඔබ නැවත ගායනා කරනවා දැකීම සතුටක්...." යන්නෙන්.
සෙලීන් ඩියෝන්ගේ ඇල්බමය වන D'eux (1995) යනු මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ ප්‍රංශ භාෂා ඇල්බමය යි.
'My Heart Will Go On' සහ 'It's All Coming Back to Me Now' ඇතුළු ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධියට පත් සෙලීන්, Atlanta 1996 ට පසුව ඔලිම්පික් සමාරම්භක උත්සවයකට සහභාගී වූ දෙවන අවස්ථාවයි මේ....
328 Views
Comments