බීමත් රියැදුරා මුල් ළමා විය සංවර්ධන නිලධාරිනියට මරු කැඳවයි

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළ කාන්තාවක් රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උස්ගල හල්මිල්ලෑව, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි උදේනි රසිකා ඒකනායක නමැති 43 හැවිරිදි දෙදරු මවකි.
ඉකුත් 17දා පස්වරුවේදී තඹුත්තේගම සිට බලලුවැව දක්වා දිවෙන ‘රැජින මාවතේ’ යතුරුපැදියකින් ගමන් කළ එම නිලධාරිනිය ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේදී ගොයම් කපන යන්ත්‍රයක් පටවා ගෙන ගිය ට්‍රැක්ටරයක් පසු කර කිරීමට යෑමේදී, ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මාර්ගයේ වම් පසට ඇද වැටුණු මරණකාරියගේ ශරීරය මතින් ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදය ගමන් කිරීම හේතුවෙන්, බරපතළ තුවාල ලබා ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබූ බවද පොලිසිය කියයි.
මරණකාරියගේ යතුරුපැදියේ ගැටුණු අනිත් යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයකදී බීමත්ව සිටි බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇතැයිද පොලිසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යතුරුපැදිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
188 Views
Comments