“සෞදියේ අනන්ත දුක් වින්දා, මට දැන් විස්තරත් අමතක වෙනවා” - වසර 29කට පසු තොරතුරක් නැතිව සිට මව් රටට ආ කමලාවතී

ජීවිතයේ ආර්ථික අපහසුතාවන් හේතුකොටගෙන ඉදිරි ජීවිතයට මුහුණදීම උදෙසා මීට වසර 29කට ඉහත දී ඒජන්සියක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය කාන්තාවක් සෞදි අරාබියේදී අනේක දුක්විඳ පසුගියදා කටුනායක ගුවන්තොටුපළින් පැමිණ සිය නිවස වෙත ගියාය.
ඇය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හඳගල්ල මුහන්දිරම්ලාගේ කමලාවතී නමැති වියපත් කාන්තාවකි. දැනට ඇය මන්දමානසිකත්වයෙන් හා සියලු දේ අමතක වීමේ තත්ත්වයකින් පසුවෙයි. ඇය යම් මට්ටමක මතකයෙන් මෙසේ කීවාය.
මම 1995 වසරේදියි සෞදි අරාබි රටේ නිවසක සේවයට ගියේ.
ඒ නිවසෙ හාම්පුතාලා මට මාස කිහිපයක් වැටුප් දුන්නා. නමුත් පස්සෙ මට වැටුප් දුන්නෙ නැහැ. හරියට සැලකුවේ නැහැ. එන්න එන්නම ඒ අයගෙ වධ හිංසාවලට මට ලක්වෙන්න වුණා. ක්‍රමයෙන් දරුවන් ගැනත් මගේ ස්වාමියා ගැනත් තොරතුරු මට නැතුව ගියා. මම දැනට වියපත්. මම ලංකාවට එනවිට මගේ සැමියත් මියගිහින්. මගේ කල්පනාව ද අවමයි.
මේ පිළිබඳව මෙම කාන්තාවගේ දියණිය වන නිමාලි සඳරේකා මහත්මිය මෙසේ කීවාය.
අපේ අම්මා සෞදි අරාබියේ ගෘහ සේවයට යනකොට මට අවුරුදු 11යි. අයියට 13යි. අපේ තාත්තා රැකියාව වශයෙන් තෝරාගෙන තිබුණෙ ගොවිතැන. අපි ඉතා ආර්ථික අපහසුතාවලින් පෙළුණ අය. ඒ නිසා අම්මා තීරණය කළා විදේශයක ගෘහ සේවයට යන්න.
ඒ අනුව ඒජන්සියක් හරහා අපේ අම්මා සෞදි අරාබියේ නිවසක සේවයට ගියා. ඒ නිවසේ අය මාස 2-3ක් අපේ අම්මට වැටුප් දීල තියෙනවා. ඒ සල්ලි අම්ම අපිට එව්වා. ඒ අනුව නිතර නිතර අපි අම්මාගේ තොරතුරු සොයා බැලුවා. ක්‍රමයෙන් අම්මාට එම නිවැසියන් තාඩන පීඩන ආදී දේවල් කරලා. සැලකිලි ද අඩු වන බව අම්මා අපට පැවසුවා. කාලයක් යනකොට අම්මාගේ තොරතුරු අපිට නැති වුණා. ඒ හේතුව නිසාම තාත්තා ද දැඩි කලකිරීමෙන් සිටියදී අසනීප වී පසුගිය කාලයේ මියගියා. අම්මාගේ තොරතුරු නොමැති වීම නිසා මම ගියා අම්මා සෞදි අරාබියට සම්බන්ධ කරපු ඒජන්සියට. ඔවුන් මට සඳහන් කළේ ඒ පිළිබඳව අප ආයතනයට කිසිදු තොරතුරක් එවා නැති බවයි. අම්මා ගැන අපට කිසිදු විස්තරයක් ලබාදීමට නොමැති බව කිව්වා. පසුව අපි දැඩි විපරමකින් සිටියත් අම්මා ගැන කිසිදු තොරතුරක් අපට ලැබුණේ නෑ. අම්මා මේ ගෙදර ආවේ අවුරුදු 29කට පස්සේ.
දැනට මෙම වියපත් මව සිය දියණියගේ හා පුතුගේ රැකවරණය යටතේ පසුවන බව ද දැනගන්නට තිබේ.
232 Views
Comments