ආර්ථික අර්බුදයෙන් ලක්ෂ පහකට රැකියා අහිමියි - දරිද්‍රතාව බරපතල ලෙස ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

ආර්ථික අර්බුදයෙන් ලක්ෂ පහකට රැකියා අහිමියි - දරිද්‍රතාව බරපතල ලෙස ඉහළට

ආර්ථික අර්බුදයෙන් ලක්ෂ පහකට රැකියා අහිමියි - දරිද්‍රතාව බරපතල ලෙස ඉහළට

ඉකුත් වසරේ පැවති දැඩි ආර්ථික පසුබෑම හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභීන්ට වන්දි ගෙවීමට පවා රජයට නොහැකි වී ඇති බව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කර ඇති වාර්තාවක් මගින් හෙළි කොට සිටී.

 

පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් පසුබෑමකට ලක්ව ඇති බවත්, යෙදවුම්වල හිඟයන් හා සැපයුම් ජාලයට සිදු වූ බාධාවන් හේතුවෙන් මෙරට ප්‍රධාන සේවා අංශ වන නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල දැඩි පසුබෑමක් ඇතිව තිබෙන බවත් මෙම වාර්තාව වැඩිදුරටත් හෙළිකොට සිටින අතර, මේ හේතුවෙන් දේශීය කර්මාන්ත හා සේවා අංශවල ලක්ෂ පහකට ආසන්න පිරිසකට සිය රැකියාවන් අහිමි වී ඇති බවද එම වාර්තාව පෙන්වා දේ.

 

ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ පැවති දැඩි ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට ජාතික මට්ටමේ දරිද්‍රතාවය දෙගුණයකින් එනම් 25% ක් දක්වා සහ ග්‍රාමීය මට්ටමේ දරිද්‍රතාවය තුන් ගුණයකින් එනම් 15% ක් දක්වා වර්ධනය වී ඇති බවත්, වතුකරයේ ජනතාවගෙන් 52% ක් උග්‍ර දරිද්‍රතාවයකට පත්ව ඇති අතර එය ජාතික මට්ටමින් සමාජයේ ඇති නැති පරතරය හෙවත් අසමානතාවය වර්ධනය වීමට ප්‍රබල හේතුවක් වී ඇති බවත්, මෙම වාර්තාවේ දැක්වේ.

 

එසේම, දැඩි ආර්ථික පසුබෑම හේතුවෙන් 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක්ව පැවති මෙරට වෙළෙඳ ශේෂය 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 5.2 ක් දක්වා පහත වැටී ඇති බවද පෙන්වා දෙන එම වාර්තාව, වෙළෙඳ ශේෂයේ පහත බැසීම හේතුවෙන් වර්තමාන තැන්පතු සංචිතය පහත බැස තිබෙන බවද පෙන්වා දෙන අතර, පැවති තත්ත්වය මගහැරවීම සඳහා ගනු ලැබූ ඍණාත්මක පියවරයන් හේතුවෙන් රටේ ආහාර අනාරක්ෂිත බව හා ආර්ථිකය අඩපණ වීම තවදුරටත් වර්ධනය වී තිබෙන බව පෙන්වා දේ.

 

මේ හේතුවෙන් මෙරට පැතිර පවතින දැඩි දරිද්‍රතාවය අවම කරලීම සඳහා කර්මාන්ත හා සේවා අංශවල රැකියා ප්‍රමාණය ඉහළ නැංවීම හා නිවැරදි ලෙස ඉලක්ක කරගත් සමාජ ආධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද, ජනතාවගේ ආදායම ඉහළ නැංවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බවද එම වාර්තාව අවධාරණය කොට සිටී.
 

views

311 Views

Comments

arrow-up