රාහුලේට වසර සියයයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය 1920 දශකය වන විට ලංකාවේ දැඩි සේ මුල් බැසගෙන තිබිණි. රට පුරා රාජ්‍ය සේවය ද, ව්‍යාපාර ක්ෂේත්‍රය ද පමණක් නොව, අති පුළුල් ලාංකික ප්‍රජාව තුළ ද දේශීය සිරිත් විරිත් හා සංස්කෘතික ඇවතුම් පැවතුම්වලට වඩා අධිරාජ්‍යවාදයට ගැති වූ සම්ප්‍රදායයන් පරිශීලනය විය. එසේ වූ නමුත්, ගාලු පුරවරයෙන් ඔබ්බෙහි මුහුදු තීරය ආශ්‍රිතවත්, ඊට සමීප රට අභ්‍යන්තරයෙත් වාසය කළ නව තරුණ පරම්පරාවන්ට ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට වාසනාවක් නොතිබුණේ, ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ඒ වන විට නොපැවැති නිසාය.
එවකට ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූයේ එෆ්. ගෝර්ඩන් පියර්ස් නමැති බ්‍රිතාන්‍ය ජාතික විද්වතෙකි. එතුමා ඉංග්‍රීසි අධ්‍යාපනය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවකු විය. ගාල්ල හා මාතර අතර හා සමීපස්ථ ග්‍රාමීය ප්‍රදේශයන්හි ඉංග්‍රීසි අධ්‍යාපන ඌණතාව කෙරෙහි අවධානය යොමු කළ එතුමා, රුහුණේ දානපතියන් කීප දෙනෙකු හමුවී, හුදෙක් ම ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා පාසලක් ආරම්භ කිරීමේ කාර්ය සාර්ථක ලෙස ක්‍රියාත්මක කළේය. එපමණක් නොවේ, මේ ඓතිහාසික කර්තව්‍යයට උපරිම මට්ටමින් කැපවෙමින්, මේ මානව හිතවාදී උත්තමයා, අභිනව ඉංග්‍රීසි පාසලේ ප්‍රථම විදුහල්පති තනතුර සඳහා ස්වකීය මහින්ද විද්‍යාලයේ එවකට සේවය කරමින් සිටි දක්ෂතම ගුරු භවතෙකු වූ විලියම් සිල්වා මහතා මුදා හැරියේය.
1923 මැයි 01 දින සුබ නැකතින් පාසල ආරම්භ කිරීම සඳහා පියර්ස් මහතාටම ආරාධනය කරනු ලැබිණි. රුහුණු ජනතාවගේ හදවත් ඔද තෙද ගැන්වෙන වැකියක් නව පාසලේ වාර්තා පොතේ එතුමාගේ පෑන් තුඩින් මෙසේ සටහන් විය. “To the glory of the Buddha Sasana and the Service of Humanity, this school is dedicated at the opening ceremony today”, (සම්බුද්ධ ශාසනයේ විභූතිය සහ මානව වර්ගයාගේ මෙහෙවර උදෙසා අද දින මේ පාසල ආරම්භ කරමි.”) අලුතින්ම බඳවා ගනු ලැබූ සිසු පිරිස සඳහා කළු ලෑල්ලේ ලියන ලද “May I be a true Buddhist” (මම නිර්මල බෞද්ධයෙක් වෙමි”) යන වැකිය එතුමා සිසු දරුවන් ලවා උච්චාරණය කරවූයේය.
සමාරම්භයත් සමඟම, මාතර හා තදාසන්න ප්‍රදේශවල සිය ගණන් මාපියෝ සිය පුත්‍රයන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය උදෙසා පරාක්‍රමබාහු පාඨශාලාව යනුවෙන් නම් කෙරුණු මේ පාසලට රැගෙන එන්නට වූහ. ගතවූයේ මාස දෙක තුනකි. පන්ති සඳහා වූ ගොඩනැඟිල්ල ක්‍රමයෙන් වැඩි වූ සිසුන්ට ප්‍රමාණවත් නොවීය. ජාතික වශයෙන් උද්ගත වූ මේ අවශ්‍යතාව දුටු මාතර නගරයේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ සී.ඒ. ඕදිරිස් ද සිල්වා දානපතිඳුන් විසින් සිය පවුලේ උරුමය වූ සරම් වලව්ව පිහිටි අගනා භූමිය, වඩාත් ඉඩ පහසුකම් සහිත නව ගොඩනැඟිලි කීපයක් ඉදිකිරීම පිණිස පාසලට පරිත්‍යාග කරන ලදී. ඒ අනුව, පැරැණි පරිසරයෙන් මිදී නව පරිසරයක නව මුහුණුවරක් ගත් පරාක්‍රමබාහු පාඨශාලාව නව නාමයක් ද සහිතව රාහුල විද්‍යාලය බවට පත් වූයේය.
රාහුල විද්‍යාලයේ ඉදිරි ගමන වසරෙන් වසර යුහුසුළු වූයේ, වෙසෙසින්ම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට ප්‍රිය කළ ළමා හා තරුණ පරපුර සිය දහස් ගණනින් ඇදී ආ නිසාය. විද්‍යාලය සියවස සමරන මේ මොහොත වන විට, ලක්ෂ කීපයක්ම සිසුහු රාහුල මාතාවගේ සෙවණේ පහස ලබා, ආරම්භයේදීම වැලඳගත් මානව වර්ගයාට මෙහෙවර කිරීමේ සද් කාර්යයෙහි විවිධාකාරයෙන් නිරත වෙමින් සිටිති. මේ ඓතිහාසික කාල පරිච්ඡේදයේ දී වසරක් වසරක් පාසා රාහුල හිතවතුන්ගේ ප්‍රමෝදයට හේතු වන පරිදි අනූපමේය සිද්ධීන් හා ක්‍රියාකාරකම් සම්භාරයක් රාහුල පරිශ්‍රයේ වාර්තාගතව ඇත.
සමාරම්භක විදුහල්පති විලියම් සිල්වා සූරීන් අනුගමනය කරමින් වරින් වර එම ධුරයට පත්වූ විදුහල්පතිවරුන් රැසක්ම දිවයිනේ ප්‍රමුඛ පෙළේ විදුහල් මට්ටමට රාහුලය නංවාලීමට පරිත්‍යාගශීලීව අත හිත දුන්හ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කූට ප්‍රාප්තිය දිනූ විද්‍යාලයීය ආදි සිසුන් රැසක් ද ඒ අතර සිටීම රාහුල අභිමානයට හේතුවන බැව් නොකිවමනාය. රාහුල පුරාවෘත්තයේ 1937 – 1956 යුගය සදා නොමැකෙන ස්වර්ණමය කාල පරිච්ඡේදය ලෙස ඉතිහාසගතව තිබෙනුයේ, ඊට පෙර වසර කීපයක්ම පැවැති පරිහානිය තුළින් යළිත් ජාතික මට්ටමේ විදුහල් අතරට සෑම අංශයකින්ම රාහුලය නංවාලීමට එවකට විදුහල්පති ඩී.ජේ. කුමාරගේ සූරීන් දැක්වූ විශිෂ්ටත්වය නිසා බැව් රහසක් නොවේ. එදා මෙදා තුර රාහුල දරු කැළට අති දක්ෂ ගුරු පරපුරක දෙපා මුල සිට අකුරු කරන්නට ලැබීම ද අප රට දරුවන්ට බොහෝවිට නොලැබෙන ආශිර්වාදයකි.
ගෙවී ගිය සියවසේ රාහුල සිසු දරුවන්ගේ සුරු විරුකම් සැබැවින්ම ගිණිය නොහැකි තරම් අප්‍රමාණ විය. විවිධ විය. අගය කියා නිමකළ නොහැකි තරම් විශිෂ්ට විය. සරසවි ආශිර්වාදය ඇතිව හෝ නැතිව, සමකාලීන ජන සමාජයේ අභියෝග ජයගෙන, ජාතික හා ජාත්‍යන්තර තලයන්හි මුදුනටම අවතීර්ණ වන්නට තරම් ඔවුහු පරිපූර්ණ වූහ. රාහුලයෙන් ඔවුන් ලැබූ පන්නරය එයයි. රාහුල ආදි සිසුන් අද සෑම පෙදෙසකදීම, සෑම ක්ෂේත්‍රයක දීම, සෑම රටකදීම කෙනෙකුට හමුවීම අරුමයක් නොවේ. රාජ්‍ය හෝ වෙනත් කවර හෝ සේවයක වුව ද කීර්තිමත් තනතුරු රාහුල ප්‍රබුද්ධිය, ශික්ෂණය හා කාර්යශූරත්වය තුළින් ආලෝකවත් වීම එහි ප්‍රකට රහසයි. සෑම රාහුල දරුවකුම අවංකවූත්, හික්මීමෙන් යුක්තවූත්, වැඩදායක පුරවැසියකු වෙමින්, තමන් සමඟම මෙන්ම සෙසු ඇත්තන් සමඟද සාමය දනවමින්, රාහුල ආදී කර්තෘවරුන්ගේ ප්‍රාර්ථනා අනුව, ස්වකීය ජීවිතයේ පරමාර්ථය සපුරා ගැනීමට රාහුල ධජය සෙවණේ සිට ප්‍රතිඥා දී සිටින්නේය.
ලාල් හේවාපතිරණ (1948 – 1956 කණ්ඩායම)
483 Views
Comments