ගජබාහු නෞකාවේ සිට ජාතියට පුද කළ වෙඩිමුර 25 ගැන ඔබ නොදත් දේ (VIDEO)

අභිමානවත් 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදාවේ ගජබාහු නෞකාවේ දී මධ්‍යහන 12.00 ට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරාගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණා.
මෙහිදී ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25 ගාලුමුවදොර සිසාරා රැව් දෙමින් පුද කළා.
වෙඩි මුර උත්තමාචාරය සිදු කරනු ලබන ප්‍රමාණයන් සැලකීමේදී අවම වෙඩිමුර උත්තමාචාර 07ක් ලබාදීම කපිතාන් නිලය හෝ ඊට පහළ නිලයක් සහිත නිලධාරියෙක් වෙත ඔහු නෞකාවක අණභාරව කටයුතු කිරීමේදී ප්‍රති ආචාරයක් ලෙස සිදු කරයි. මෙම අවම වෙඩිමුර උත්තමාචාරයේ සිට වෙඩිමුර උත්තමාචාර පැවැත්වෙන අනෙකුත් අවස්ථාවන් වන්නේ, කොන්සල් වරයෙකු වෙත වෙඩිමුර උත්තමාචාර 09ක්, කොමදෝරු හෝ සමාන නිලයක් වෙත සහ කොන්සල් ජෙනරාල් වරයෙක් වෙත වෙඩිමුර උත්තමාචාර 11ක්, රියර් අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත හෝ රාජ්‍ය දූතයෙක් දූත මෙහෙවරක් අවසානයේ පිටත්වීමේදී වෙඩිමුර උත්තමාචාර 13ක්, වයිස් අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 15ක්, අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත, පූර්ණ බලැති තානාපතීන් වෙත, අති විශේෂ රාජ්‍ය දූතයන් වෙත, ආණ්ඩුකාරවරයෙක් වෙත, මහ කොමසාරිස්වරයෙක් වෙත සහ ආරක්ෂක ලේකම් වෙත වෙඩිමුර උත්තමාචාර 17ක්, අගමැති, ආරක්ෂක ඇමති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 19 ක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, වෙනත් ජනරජයක ජනාධිපති හෝ රාජ්‍ය ප්‍රධානී වෙත, රාජකීය පවුලක සමාජිකයෙකු වෙත හා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යක ආණ්ඩුකාර වරයෙක් වෙත උත්තමාචාර වෙඩිමුර 21ක් වශයෙනි. ඒ අනුව, ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 පිරිනැමීම උපරිම වෙඩිමුර සංඛ්‍යාවක් පිරිනමන අවස්ථාව ලෙස සනිටුහන් වේ.
අතීතයේ යුද නෞකාවන්ගේ සවිකර තිබූ එක් වරකදී එක් උණ්ඩයක් පමණක් දැල්විය හැකි කාලතුවක්කු (Cannon) මගින් ප්‍රහාර එල්ල කළ 14 වන ශතවර්ෂයේ සිට මෙම වෙඩිමුර උත්තමාචාර චාරිත්‍රය පැවත එන අතර, මුල්ම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් 1948 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15 ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. ඉන් අනතුරුව 1950 වර්ෂයේදී විජය නෞකාවේදී වෙඩි මුර උත්තමාචාරය පිරිනැමීමෙන් වසර 72කට පසු ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරයක් පිරිනමන ලද දෙවන අවස්ථාව ලෙස මෙවර ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට ජාතිය වෙනුවෙන් පිරිනමන ලද වෙඩි මුර උත්තමාචාරය සනිටුහන් විය.
870 Views
Comments