සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳව දැනගන්න

1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත පනවන ලද්දේ නිශ්චිත සේවක පන්ති වල ප්‍රතිලාභ සඳහා සහ ඒ හා සම්බන්ධ කරුණු වලට අවශ්‍ය විධිවිධාන සැලසීමේ අරමුණ ඇතිවය. මෙම පනතේ ප්‍රධාන අරමුණ වන්නේ සේවකයෙකුට ඔහුගේ මහලු වයසේදී හෝ විශ්‍රාම ගැනීමේදී එකවර ලැබෙන ප්‍රතිලාභ මුදලක් සහතික කිරීමයි. මෙම පනතේ සාමාන්‍ය පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ කම්කරු කොමසාරිස් නම් පුද්ගලයා විසිනි. මෙම පනත පනවන ලද්දේ දායකත්ව අර්ථසාධක අරමුදලක් මගින් ආවරණය වන රැකියාවල සේවා නියුක්තව සිටින සේවකයන්ට විශ්‍රාම පාරිතෝෂක ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම සඳහා යි.
රුපියල් බිලියන 1300 ක වත්කම් පදනමක් ඇති මෙම අරමුදල පෞද්ගලික අංශයේ ආයතන සහ ව්‍යාපාර, රාජ්‍ය අනුග්‍රහය ලබන සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික ව්‍යාපාර වල සේවයේ නියුතු සේවකයින්ට යම් අයුරකින් සිතට සැනසිල්ලක් ගෙන දෙන්නකි. මෙම අරමුදලෙහි අරමුණ වන්නේ සේවකයාට සිය ජීවිතයේ සැදෑ යාමයෙහි දී මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමත් රජයේ ආර්ථික වර්ධනය ඇති කිරීමේ දී අදාළ සේවකයා විසින් ඉටු කරනු ලැබූ සේවයට ප්‍රණාමය පුද කිරීමත් වේ. මෙම පනතට අනුව සේවායෝජකයා විසින් ලියා පදිංචි කිරීමේ නීති රීති පදනම්ව අර්ථසාධක අරමුදල් දායක මුදල් සකස් කොට මාසිකව හෝ අර්ධ වාර්ෂිකව සේවක අර්ථසාධක මුදල් මණ්ඩලයට අදාල පරිදි ලබාදිය යුතු වේ. සේවා යෝජකයා සිටින්නේ ආවරණය ලබන රැකියාවක නම් එවිට තම ව්‍යාපාරය ආරම්භ කර සති දෙකක් ඇතුළත අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවන්නෙකු ලෙස කම්කරු කොමසාරිස් වෙත ලියාපදිංචිවීම අනිවාර්ය වේ.
තවද මෙම මාසික දායකත්ව මුදල් එකතුව ඊළඟ මාසයේ අවසාන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රේෂණය කිරීමද අනිවාර්ය වෙයි. යම් යම් විශේෂ අවස්ථාවන්හිදී සේවක අර්ථසාධක අරමුදලින් ඉවත්වීමේ අයිතියද සේවකයාට පැවරෙන අතර එනම් විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස සේවයේ නියුක්ත වීම නැවැත්වීම, පිටරටක ස්ථිර පදිංචිය ලබා ගැනීම, විශ්‍රාම ගන්නා වයසට ළඟාවීම, රැකියාව අවසන් කිරීම, සේවය කිරීම සඳහා සෞඛ්‍යමය වශයෙන් යෝග්‍ය නොවන බව ඔප්පු කිරීම යනාදිය එම විශේෂ අවස්ථා වලින් කිහිපයකි. බොහෝ රැකියා මෙම පනතින් ආවරණය ලබන රැකියා යටතට ගැනුණද සමහර රැකියා මෙම ගණයට අයත් නොවේ. එනම් රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, ගෘහ සේවය, බාල අපරාධකරුවන්ට පුහුණුව ලබාදෙන අයතන, පවුලේ සාමාජිකයින් පමණක් සේවයේ යොදා ගනු ලබන සංවිධාන යනාදියයි.
by Sachini Sooriyaarachchi
1344 Views
Comments