තේ පානයේ අගය කියාපාන ජාතික තේ දිනය අදයි

ජාතික තේ දිනය අදයි. වර්තමානයේ ලොව සෑම මහද්වීපයකම වෙසෙන්නන් ‘තේ’ තමන්ගේ පානයක් කර ගෙන සිටියත් මුල් වරට තේ පානය කර ඇත්තේ චීන ජාතිකයන්ය. තේ පිළිබදව ඇති ආදිතම සටහන වනුයේ ක්‍රි.පූ 350 දී චින ශබ්දකෝෂයක තිබු වාර්ථාවකි. තේ පානය චිනයේ ඇරඹුනා යැයි චාපු නැමති ලේඛකයෙක්ගේ වාර්ථා අනූව පෙනී යන්නේ ක්‍රි.ව 6 වැනි සියවසේදීය. කෙසේ නමුත් තේ පිළිබදව පළමු ග්‍රන්ථය සම්පාදනය වන්නේ ක්‍රි.ව 780 දී පමණය. මෙසේ ලේඛන ගත වීමට තරම් තේ ශාකය හා තේ පානය චීන ජාතිකයන්ට වැදගත් වී ඇත්තේ චින ජාතිකයින් විවේකීව ගත කරන විට අනුගමනය කල සිරිතක් බවට තේ පානය පත්ව තිබු හෙයිනි.
තේ ශාකයේ උප්පත්තිය පිළිබදව විවිධ ජනප්‍රවාද ද මේ සමගම සමාජගත වී ඇත. එක් කථාවකට අනූව තේ සොයා ගෙන ඇත්තේ “ඩරූහ” නැමති ඉන්දීය ජාතික බෞද්ධ භික්ෂුවකි. උන් වහන්සේ බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමට චීනයට වැඩම කල භික්ෂුවකි. තම ධර්ම ප්‍රචාරක කටයුතු අවසන් වන තෙක් වසර නමයක් නිදා නොගන්නේමැයි යනුවෙන් පීකීං (බීජිං) නුවරදී අධිෂ්ඨාන කර ඇත. නමුත් තම අධිෂ්ඨානය මුදුන් පමුණුවා ගැනීමට උන් වහන්සේට හැකිවී නැත. ඒ පිළිබදව ඇතිවු ලැජ්ජාව හා කලකිරීම නිසා සිය ඇසි පිය ගලවා විසිකර දැමු බව සදහන්ය. එම ඇසි පිය වැටුනු තැන කොළ පැහැයට හුරු පදුරක් හටගත් බවත් පුදුමයට පත් ඩරූහ හිමියන් එම ගසේ කොළ කඩා තම්බා පානය කල බවත් එමගින් උන් වහන්සේගේ සිරුරට අමුතු ප්‍රාණයක් ලැබුණු බවත් සදහන්ය. පසුව උන් වහන්සේ චීනයේ ධර්ම ප්‍රචාරක කටයුතු නිමකර ජපානයට වැඩම කල බව සදහන්ය. මෙසේ පැලවු ශාකය තේ ශාකය යැයි චීන පැරැන්නන් විශ්වාස කර ඇත. ඔවුන් තේ ශාකයේ පත්‍ර තැම්බූ වතුර සතුව ශක්ති ජනක ගුණයක් ඇති යැයි දැඩිව විශ්වාස කරති.
මීට අමතරව තේ වල උප්පත්තිය පිළිබදව තවත් ජනප්‍රවාද කිහිපයක්ම ඇත. ඒ සෑම එකකම වාගේ තේ ගස ඇතිවී තිබෙන්නේ ඇසිපිය වලින් යැයි සදහන් වේ. එසේ බෞද්ධ භික්ෂුවක් එම සෑම කථා පුවතකම ඇතුලත් කර ඇත.
යුරෝපියයන් තේ පානය පුරුදු පුහුණු වි ඇත්තේ චීන ජාතිකයින් තේ පානය අරඹා සැලකිය යුතු කාලයකට පසුවය. ආසන්න වශයෙන් ක්‍රි.ව 1600 දී පමණ ඕලන්ද ජාතිකයින් තේ පානය අරඹා ඇත. එය යුරෝපයේ තේ පානය ඇරඹි මුල් අවස්ථාවයි. යුරෝපයට තේ හදුනා ගැනීමට ලැබෙන්නේ දේශ සංචාර වල යෙදෙන යුරෝපීය දේශ සංචාරකයින් මගිනි. ඔවුන් නැගෙනහිර ආසියාවට (චීනය) පැමිණිමත් පසු තේ පානය කර ඒවා තම මවුබිම් වෙතද ගෙන ගොස් ඇත. ඕලන්ද ජාතිකයින් තේ යුරෝපයට ආනයනය කර වෙළදාම් කර ඇත. මුල් යුගයේ තේ වල මිල අධික වී ඇති අතර බ්‍රිතාන්‍යයන් එයට මුලදී පුරුදු වී නැත. එහෙත් 17 වැනි සියවස දෙවැනි භාගයේදී පමණ තේ වල මිල සැලකිය යුතු අගයකින් පහත වැටීම නිසා බ්‍රිතාන්‍යයන් වඩා වැඩි වේගයකින් තේ වලට ඇබ්බැහි වී ඇත. තේ බ්‍රිතාන්‍යය තුළ දහඅට වැනි සියවසේ අගභාගය වන විට රජමාළිගයේ සිට ගම්බද පැල්පත දක්වා එකසේ ප්‍රචලිතව ඇත.
ලොව ප්‍රථම වරට තේ වාණිජ වශයෙන් චීනයෙන් බැහැර රටක වගා කර ඇත්තේ ඉන්දියාවේදීය. ඒ වසර 1818-1834 වකවානුවේදීය. බීජ ගෙන්වා ගෙන ඇත්තේ චීනයෙනි. මෙම අවස්ථාව ලෝක පරිමාණයෙන් තේ ව්‍යාප්ත වීමටත් සෑම දේශයකම ජනප්‍රියතම පානයක් වීමටත් මග පැදු හැරවුම් ලක්ෂය විය. ඉන් අනතුරුව අප්‍රිකාව, රුසියාව සහ ආසියාවේ අනෙකුත් රටවලද ක්‍රමිකව තේ වගාව ව්‍යාප්ත වී ඇත. තේ පත්‍ර වල වියලි බරින් 2.5% සිට 5.5% දක්වා ප්‍රමාණයක් කැෆේන් අඩංගුය. කැෆේන් යනු තේ වල රසයට අමතරව උත්තේජකාරී ගුණයට බලපාණ ප්‍රධාන පියුරීන් සංයෝගයයි.
තේ පානය නිසා රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවන බව පර්යේෂණ වලින් සනාථ වී ඇත. එසේම රුධිර වාහිනී වල බිත්ති ශක්තිමත් කිරිමේ හැකියාවක් තේ වල අන්තර්ගත පොලිපිනෝල් නම් රසායනික සංයෝගයට ඇති බව සෝවියට් විද්‍යාඥයින් සොයා ගෙන ඇත. තේ පානය නිසා මෙම තත්ත්වයන් ඇති වීමෙන් හෘද රෝග ඇති වීම වැලැක්වීමටත් රුධිර සංසරණ පද්ධතියේ සිදුවිය හැකි අනතුරු වැලැක්වීමටත් උපකාර වන බව හෘද රෝග විශේෂඥයින්ගේ මතය වී ඇත.
ආහාර රුචිය වැඩිකරන, බඩගිනි වඩන (apatite) ගුණයක් තේ වල ඇති බව ජපානයේ කැම්පෝ වෛද්‍ය ක්‍රමය අනූවත් ආයුර්වේදානුකූලවත් පිළි ගන්නා සත්‍යයකි. එසේම ආහාර දිරවීමද පහසු කරන බව වැඩිදුරටත් මෙහිදි සදහන් කල හැක.
දන්ත සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල තේ වල ඇති සංයෝග නිසා දත් දිරායාම වැලැක්වීමත් අත් වල ආරක්ෂාව වැඩි කරණා බවත් සොයාගෙන ඇත. විශේෂයෙන් පිළිකා රෝග නිවාරණය හා තේ පානය අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇත. රටවල් කිහිපයක සිදු කරණ ලද පරීක්ෂණ වලට අනූව මෙම නිගමනයට එළඹ ඇත. තේ වල ඇති පොලිපිනෝල සංයෝග හා කැෆේන් නිසා මෙම රෝග නිවාරණ හැකියාවන් ලැබී ඇතැයි විශ්වාස කෙරේ. මේ සංයෝග දෙක අධිමාත්‍රාවෙන් ශරීරගත වුවහොත් එය ශරීරයට අනතුරුදායක වේ. විශේෂයෙන් කැෆේන් අධිමාත්‍රාවෙන් ගැනීම අනතුරුදායකය. නමුත් තේ වල පමණක් ඇති තියැනීන් නිසා කැෆේන් වල බලපෑම අඩුවන බවත් සොයාගෙන ඇත.
පොලිපිනෝල වලට අමතරව ටැනීන් නම් රසායනික සංයෝගයද තේ වල අන්තර්ගතය. ඒවාද රෝග නිවාරණයට දායක වේ. වියලි තේ දළු බරින් 25% සිට 30% දක්වා ප්‍රතිශතයක් ටැනීන් අන්තර්ගතය.
එබැවින් තේ පානය කරන්නේ නම් ඒ පිළිබදව නිසි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුය. පුරුද්දක් වශයෙන් වැඩිපුර තේ පානය කරන්නේ නම් ජලය හෝ වෙන යම් තරලමය පානයන්ද තේ පානයන් අතරට වැඩිපුර පානය කිරීමට සැලකිලිමත් විය යුතුය. එය තේ වල ඇති ඖෂධීය ගුණය නිවැරදිව හා මුළුමනින්ම ශරීරයට ලබා ගැනීමට ඇති එකම ක්‍රමයයි.
360 Views
Comments