අධික උණුසුමෙන් ආරක්ෂා වෙන්න ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් මෙන්න

මේ දිනවල ලංකාවේ කොයි ප්‍රදේශයේ වුවත් පවතින්නේ දරාගැනීමට ඉතා අපහසු ග්‍රීෂ්මයකි. එක්දහස් අටසිය ගණන් වලදී උෂ්ණත්ව වාර්තා තබාගැනීම ආරම්භ කිරීමත් සමග ලෝකයේ වැඩිම මධ්‍යන්‍ය උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදීය. මෙහි ඇති භයානක තත්ත්වය නම් එම උෂ්ණත්ව වාර්තාවන් මේ මෑත මාස කිහිපය තුළදී 10 ගුණයකින් පමණ අලුත් වී තිබීමයි. මෙලෙස මිහිකත උණුසුම් වීමත් සමග ඇතිවන දේශගුණික විපර්යාසයන් හට අප දැනටමත් මුහුණ දෙමින් සිටී.
මේ මොහොත වනවිටත් අපේ රටට, පමණට වඩා උණුසුම් වා රැළි වල බලපෑම දැනෙමින් පවතී. උදෑසන 10 පසුවන විට සිරුරේ නැගෙන දහදිය, දැනෙන තෙහෙට්ටුව මේ අසාමාන්‍ය පාරිසරික උෂ්ණත්වයෙහි ප්‍රථිඵලයි. මේ දේශගුණික විපර්යාසය අපට පාලනය කළ නොහැකි වුවත් ඉන් අපේ සිරුරට දැනෙන අපහසුතා අවම කරගැනීමට ක්‍රම කිහිපයක් අනුගමනය කිරීමට හැකිය.
එලෙස අනුගමනය කළ හැකි පහසුම මෙන්ම හිතකරම ක්‍රමවේදය වන්නේ ඇඟ සිසිල් කරන ආහාර පාන එදිනෙදා ආහාර වේලට එකතු කරගැනීමයි. ඉතා පහසුවෙන් මෙම ආහාර ප්‍රධාන ආහාරයක්, අතුරුපසක් හෝ පානයක් ලෙස ලබා ගත හැකිය.
උෂ්ණය අධික දිනවලදී මස් මාළු ආහාරයට ගැනීමෙන් සිරුර තවත් පීඩාවට පත් කරයි. නමුත් ඒවා නොගැනීමෙන් ඇති වන ප්‍රෝටීන අඩුව පිරිමසා ගැනීම ඉතා වැදගත් වේ. එබැවින් මෙවැනි දිනයන්හි සිරුරේ උෂ්ණත්වය පවත්වා ගනිමින් ආහාරයට ගත හැකි හිතකරම ආහාරයක් වනුයේ මුංඇට යි. පරිප්පු ද තරමක් උෂ්ණ ආහාරයක් බැවින් මේ දින වල මුංඇට ව්‍යාංජනයක් ඒ වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගත හැකියි.
උෂ්ණ අධික දින වල සිරුරේ ජල මට්ටම ඇත්තේ තරමක් පහළිනි. එවිට ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වේ. නමුත් ආහාරයට පලා වර්ග එකතු කරගැනීමෙන් ඒවායේ ඇති තන්තු හේතුවෙන් ආහාර ජීර්ණ පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක වීම සිදු වේ. විශේෂයෙන්ම කූර තම්පලා සහ සාරන යනු ඇඟ විශාල වශයෙන් සිසිල් කරවන පලා ද්විත්වයකි.
මීට අමතරව පතෝල සහ වැටකොළු ද සිරුර නිවන ආහාර වර්ග ය. ඉතා පහසු මුදලකට ඕනෑම කාලයකදී ලබා ගත හැකි මෙම කෑම වර්ග උෂ්ණ අධික කාලයන්හිදී සිරුරට අත්‍යවශ්‍ය ඒවා ලෙස සැලකිය හැක. මේවායේ ඇති සුවිශේෂීම ගුණාංගය වන්නේ එහි ඇති තන්තු මගින් සිරුරේ අඩු ජල මට්ටමකදීත් පහසුවෙන් ආහාර ජීරණය කොට මළපහ පිටකිරීමයි.
තවත් මෙවැනිම ඇඟ සිසිල් කරවන ආහාර ද්විත්වයක් වනුයේ පිපිඤ්ඤා සහ අලු පුහුල් ය. මේ අතරින් පිපිඤ්ඤා පිසීමකින් තොරව ආහාරයට ගත හැකි අතර පොල්කිරි ස්වල්පයක් යොදා සාදාගන්නා ව්‍යාංජනයද ඉතා සුදුසු ය. මේවායේ ඇත්තේ ඉතා ඉක්මනින් සිරුර සිසිල් කළ හැකි විශ්මිත ගුණයකි.
මෙලෙස ප්‍රධාන ආහාරයට එකතු කරගත හැකි එළවළු වර්ග හැරුණු විට අතුරුපස ලෙස ලබා ගත හැකි ආහාරයක් ලෙස යෝගට් නම් කළ හැක. යෝගට් මිදීමට භාවිතා කරන හිතකර බැක්ටීරියා ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කර සිරුර පමණට වඩා උණුසුම් වීම වළක්වයි. යෝගට් වලට අමතරව මී කිරිද සිරුරේ ජල මට්ටම ඉහළ දමමින් සිරුරට නැවුම් බවක් ගෙනදීමට සමත් වේ. එබැවින් දවසේ ඕනෑම වේලාවක මේවා ආහාරයට ගැනීම ඉතා සුදුසු ය.
තවද මේ දිනවල ආහාරයට ගත යුතුම පලතුරු වර්ග ලෙස ආනමාලු කෙසෙල්, පැණි කොමඩු, නෙල්ලි ආදිය දැක්විය හැක. විශේෂයෙන්ම ආනමාලු කෙසෙල් වල ඇති පොටෑසියම් මගින් සිරුරේ ලවණ සමතුලිතතාවය ආරක්ෂා වේ. පැණි කොමඩු වලින් සිරුරේ ජල මට්ටම ඉතා හොඳින් ඉහළ දමයි.
උෂ්ණ අධික කාල වලදී ලබා ගත යුතුම පානයන් වන්නේ රණවරා, බෙලිමල් සහ තැඹිලි වතුර යනාදියයි. ක්ෂණයකින් සිරුරේ දාහය නිවීමට මේවාට දිව්‍යමය හැකියාවන් පවතී.
මෙලෙස ඉතා පහසුවෙන් ආහාරයට එකතු කරගත හැකි ආහාර මගින් මේ දිනවල පවතින දැඩි උණුසුමින් යම් තරමක සහනයක් ලබා ගත හැක. එසේම සිරුර අභ්‍යන්තරයට ඉන් ලැබෙන සිසිලසත් තෙහෙට්ටුව අවම කරගනිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වීමට මනා පිටුවහලක් වනු නිසැකය.
514 Views
Comments