දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත්වෙන මවක් නම් අනිවාර්යෙන් බලන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත්වෙන මවක් නම් අනිවාර්යෙන් බලන්න

දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත්වෙන මවක් නම් අනිවාර්යෙන් බලන්න

පාසල් දරුවන්ගේ ආහාර වේල ඉතා සැලකිලිමත් විය යුතු, අවධානයට ලක් විය යුතු තේමාවකි. මන්ද අප සැමවිටම අසන, අනාගතයේ භාරකරුවන් දරුවන්ය යන මතයට මෙම ආහාර වේල් ප්‍රධාන වශයෙන් බලපාන බැවිනි. ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල, පාසල් වේලාව තුළදී සිසුන් ලබාගන්නා ආහාර පිළිබඳව ඉතා  සැලකිලිමත්ය. ඇතැම් රටවල් ඒ වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත් ද තරමක් විශේෂ ඒවා වේ.

 

 

අපේ රට තුළ නම් බොහෝ විට ආහාර වේල බත්, එසේ නොමැති නම් ධාන්‍ය වර්ග, නූඩ්ල්ස් හෝ ක්ෂණික ආහාර වලින් සමන්විතය. නමුත් ලෝකයේ ඇතැම් රටවල් ගත් විට ඔවුන් ඒ වෙනුවෙන් විශේෂ ආහාර රටාවන්, ආහාර වර්ග යොදා ගෙන තිබේ.

 

 

මෙයට හොඳම නිදසුනක් වන්නේ දකුණු කොරියාවයි. ලෝකයේ හොඳම ආහාර සැලසුම් ක්‍රමය ලෙස පිළිගන්නේද දකුණු කොරියාවේ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදයයි. විශේෂයෙන් සැකසූ තැටි වල බත්, සුප්, සලාද, මුහුදු ආහාර සමගින් පලතුරු වර්ග එහිදී සපයනු ලබයි. අධ්‍යාපනය සඳහා මොළය වෙහෙසවන විට දරුවන් සතුව තිබිය යුතුම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

 

 

ජපානයේද මෙවැනිම ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. සිසුන් උසස් අධ්‍යාපනයට එළඹෙන තෙක්ම ඔවුන්ට නිවෙස් වලින් ආහාර ගෙන ඒමට අවසර නොමැති අතර ඉතා සැලසුම් සහිත අවන්හල් පද්ධතියක් මගින් සිසුන්ට ආහාර සපයනු ලබයි. එහිදී සිසුන්ගේ පෝෂක අවශ්‍යතාවන් මත ඇතැම් සිසුන් සඳහා මෝරතෙල් සලාකයක් ලබාදීමටද එරට රජය පියවර ගෙන ඇත.

 

 

තවත් සුවිශේෂී ක්‍රමවේදයක් පවතින රටක් ලෙස තුර්කිය හඳුන්වා දිය හැක. එරට සිසුන් සඳහා ආහාර ගැනීමට පැයක පමණ කාලයක් ලබා දී ඇත. එම කාලය තුළ සිසුන්ට තම නිවෙස් බලා ගොස් ආහාර ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ආහාර ලබාගන්නා මොහොතේදී වඩාත් වැදගත් වන්නේ දරුවන්ගේ මානසික සුවතාවය බව එරට මතයයි. කුකුල් මස්, බත්, චීස්, වෝල්නට්, මිදි, ඇපල් සහ දෙළුම් ආදී මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන ආහාර වේලක් එරට සෑම දරුවෙකුටම පාහේ හිමි වෙයි.

 

 

බටහිර ආරයේ ආහාර වේලකින් සමන්විත ප්‍රංශ පාසල් සිසුන් සඳහා පිරිනැමෙන ආහාරද ලෝකයේ දැඩි පිළිගැනීමට ලක්ව ඇත. එය ප්‍රධාන වශයෙන් මාළු, නිවිති, අර්තාපල්, චීස් සහ පාන් වලින් සමන්විත වේ. ප්‍රංශ වැසියන් ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේල ලෙස සලකන්නේ දිවා ආහාර වේල බැවින් එරට සිසුන්ට පැයක් හෝ පැය දෙකක කාලයක් ඒ සඳහා හිමි වේ. 

 

 

රටක අනාගත උරුමකරුවන් වන එරට සිසු දරුවන් සෞඛ්‍ය සම්පන්නව සිටීම ඉතා වැදගත් වේ. අධ්‍යාපනය ලබන දරුවන් තුළ බොහෝ විට විවිධ පෝෂ්‍ය ඌනතාවයන් ඇති වීම සාමාන්‍ය කරුණක් නමුත්, ඒවා හඳුනා ගෙන අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම අත්‍යවශ්‍ය ය. සාක්ෂරතාව අතින් අප ඉදිරියෙන් සිටියද වෙනස් චින්තනයන් දැරීම, නව නිපැවුම් බිහිවීම අල්ප වීම වැනි ගැටළු මේ 2023 වසර වනවිටත් රටක් වශයෙන් අප මුහුණ පාන තත්ත්වයන් ය. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන එක් කරුණක් වනුයේ අපේ රටේ දරුවන් ලබාගන්නා ආහාරයි. එහෙයින් දැන් අප පසු කරන්නේ ඒ පිළිබඳව රජයේ දෑස් විවර විය යුතුම කාලසීමාවක නොවේද. 

views

449 Views

Comments

arrow-up