පිටි කන හැමෝම පිටි ගැන මේ විස්තර දන්නවද බලන්න

සෑම මුළුතැන්ගෙයකම අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස පිටි සැලකිය හැක. වෙනස් වර්ගයේ පිටි වලට විවිධ වූ ගුණාංග පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ පරිභෝජනය සදහා යොදා ගැනෙන ප්‍රධාන පිටි වර්ග තුනකි.
තිරිඟු පිටි
සහල් පිටි
ඉරිඟු පිටි
තිරිඟු පිටි
බටහිර ලෝකයේ වඩාත් ජනප්‍රිය ධාන්‍ය වර්ගයක් වන තිරිඟු , පිටි නිෂ්පාදනය සදහා යොදා ගනියි. තිරිඟු පිටි තිරිඟු ඇඹරීමෙන් සාදනු ලබයි. තිරිඟු "නිවුඩු" සමග ඇඹරූ විට "ආටා පිටි" ලෙස හදුන්වයි. ග්ලුටන් අන්තර්ගතය පදනම්ව තිරිඟු පිටි වර්ග දෙකක් වෙළෙඳළෙලේ දැකිය හැක. "මෘදු" තිරිඟු පිටි වල ග්ලුටන් අන්තර්ගතය අඩුවන අතර ඊට සාපේක්ෂව "දැඩි" තිරිඟු පිටි වල ග්ලුටන් අන්තර්ගතය වැඩි වේ. දැඩි තිරිඟු පිටි මිශ්‍රණය ප්‍රත්‍යස්ථ බවකින් යුක්ත වන අතර එම නිසා පිළිස්සීමෙන් පසුව වුවද එහි හැඩය හොදින් පවත්වා ගනියි. මෘදු තිරිඟු පිටි වල පවතින සාපේක්ෂ අඩු ග්ලුටන් ප්‍රමාණය නිසා ඒවායෙන් තැනෙන නිෂ්පාදන, සියුම් හා පහසුවෙන් කැඩී යන සුළු වයනයකින් යුක්ත වේ. තිරිඟු පිටි අංශු වල ප්‍රමාණය (particle size) තිරිඟු පිටි නිෂ්පාදන වල ගුණාත්මකභාවයට දායක වෙයි. නිවුඩ්ඩ සහිත තිරිගු පිටි ආශ්‍රිත ආහාර වර්ග පරිභෝජනය, රුධිරයේ කොලෙසටරෝල් මට්ටම මෙන්ම රැධිර පීඩනය හා ශරීරයේ බර පාලනයට ද දායක වේ. එසේම ඒවා ආහාර දිරවීමද පහසු කරයි. ඇමරිකානු එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට (USDA) අනුව තිරිඟු පිටි වල සම්පූර්ණ ධාන්‍ය 120g ක කැලරි 398 ක් අඩංගු වෙයි. එයින් 2.4g ක් මේදය ද, 12g ක් ප්‍රෝටීන් ද, 89g ක් කාබෝහයිඩ්‍රේට් ද වේ. එම කාබොහයිඩ්‍රේට් අතරින් සීනි 1.2g ක්ද තන්තු 16g ක්ද අන්තර්ගත වන අතර ඉතිරිය සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වේ.
සහල් පිටි
සහල් සිහින්ව ඇඹරීමෙන් සහල් පිටි සකසනු ලබයි. සහල් පිටි gluten free baking සදහා යොදා ගනියි. තිරිඟු පිටි වලට ආදේශකයක් ලෙස භාවිතා වන සහල් පිටි නිෂ්පාදනයට සුදු සහල් හෝ රතු සහල් යොදා ගනියි. පිටි නිපදවීමට පෙර වී වල පිටත පිහිටි වියළි ආවරණය ඉවත් කර කැකුළු හාල් ලබා ගනී. පසුව එය පිටි බවට පත් කරයි. සහල් පිටි විවිධ ආහාර වර්ග සදහා ඝනීකාරකයක් (thickening agent) ලෙස භාවිතා කරයි. මෙම පිටි වර්ගයේ ප්‍රසන්න මෘදු රසයක් පවතී. සහල් පිටි වල ග්ලුටන් ප්‍රෝටීන් අන්තර්ගත නොවන නිසා ප්‍රත්‍යස්ථ බවින් යුක්ත මිශ්‍රණයක් ලබා ගත නොහැකි අතර වායු රදවා තබා ගැනීමක්ද සිදු නොවේ. සහල් පිටි වල කාබෝහයිඩ්‍රේට්, තන්තු, ප්‍රෝටීන්, විටමින් E, විටමින් B3(නියැසීන්), විටමින් B9(ෆෝලේට්) හා ඛනිජ ලවණ (Ca, Se, Mg, P, K, Fe, Na, Cu, Zn) අඩංගු වේ. රතු සහල් පිටි වල කැලරි ප්‍රමාණය සුදු සහල් පිටි වල කැලරි ප්‍රමාණයට වඩා සුළු වශයෙන් අඩු වන අතර එය අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වලින්ද පොහොසත් වේ.
ඉරිඟු පිටි
ඉරිඟු පිටි යනු වියලන ලද සම්පූර්ණ ඉරිඟු බීජ අඹරා සාදන ලද පිටි වර්ගයකි. ඉරිඟු පිටිවල බඩ ඉරිඟු වල පිටත ආවරණය, අංකුරය සහ භ්‍රෑණපෝෂය යන කොටස් අන්තර්ගත වන නිසා සම්පූර්ණ ධාන්‍ය පිටි ලෙස සැලකේ. ඉරිඟු පිටි සාමාන්‍යයෙන් කහ පැහැයක් ගන්නා නමුත් භාවිතා කරන ඉරිඟු වර්ගය අනුව හෝ බීජයේ භාවිතා වන කොටස අනුව එහි වර්ණය සුදු හෝ නිල් විය හැක. තිරිඟු පිටි වලට සමාන සිහින් හා සිනිදු වයනයක් ඉරිඟු පිටි වල ඇත. ඉරිඟු පිටි සෝස් වර්ග සහ සුප් වර්ග උකු කිරීමට, ඉරිඟු සිරප් හා අනෙකුත් සීනි සෑදීමට භාවිතා කරයි. ඉරිඟු පිටි ඉවුම් පිහුම් සදහා සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍යයක් ලෙස වැඩි වශයෙන් භාවිතා කළද සමහර කර්මාන්තවල රසායනික ආකලන ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමේ සිට ඇතැම් රෝග සදහා වෛද්‍ය ප්‍රතිකාර දක්වා වූ විවිධ අරමුණු සදහා ඉරිඟු පිටි යොදා ගැනේ.
1098 Views
Comments