ඉඳි ආප්ප වැලිතලප

ගොඩාක් වෙලාවට අපි කන්න ආසාවට කෑම ජාති හැදුවට ඒවා ඉතුරු කරලා විසිකරන වාර අනන්තයි. ඒත් මෙහෙම ඉතුරු වෙන ආහාර වර්ග ඉවතලන එක නම් එතරම්ම හොඳ නෑ. ඒ ආහාරය ඒ ලෙසම කන්නට ගන්නට අකමැති නම් වෙනත් විදියක කෑමක් එයින් සාදා ගන්නට අපි උත්සහ කළ යුතුයි. අළුත් රෙසපි වර්ග ඔයාලට ගෙනාවා වගේම අපි ඉතිරි වෙන ආහාර වර්ග වලින් සෑදිය හැකි ආහාර වර්ගවල රෙසපිත් අරගෙන එනවා. මේ ඒවගේ තවත් රෙසපියක්. සාමාන්‍යයෙන් අපි වැලිතලප හදන්න ගන්නෙ පිට්ටුවක් නෙ අද අපි ගන්නෙ ඉඳි ආප්ප.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ඉතිරි වූ ඉඳි ආප්ප
- පැණි අඩු කෝප්ප දෙකක්
- සීනි අඩු කෝප්ප කාලක්
- පොල් කිරි අඩු කෝප්ප 1/2 ක්
- කුඩු කරගත් එනසාල්, කරාබුනැටි ස්වල්පයක්
- වැනිලා බිංදු 2 - 3 ක්
- ලුණු රස අනුව
සාදන ආකාරය,
ශීතකරණයේ තබා ඇති ඉඳි ආප්ප ටික ඉවත් කරගෙන කුඩා කැබලි වලට කඩා ගන්න. දැන් මෙම ඉඳි ආප්ප කැබලි පෙගෙන සේ පොල් කිරි ටික දමන්න. පැත්තකින් තබන්න. දැන් සීනි හා පැණි භාජනයකට දමා ලිපේ තබමින් රත්කරගන්න ගමන්ම හොඳින් හැඳි ගාගන්න. සීනි පැණි උණු වී නූලක් ආකාරයට වත් කළ හැකි වන විට එයට එනසාල් කරාබුනැටි කුඩු ටික දමා එයට කලින් පොල් කිරි යොදා සකස් කරගත් ඉඳි ආප්ප මිශ්‍රණය දමන්න. වැනිලා බිංදු 2 ක් හෝ 3 ක් දමා හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය හොඳින් උකු වේගන එන විට බටර් හෝ තෙල් යාන්තමින් තවරා ගත් තැටියකට දමා තුනී කරගන්න. හොඳින් නිවණු පසු ඔබට කැමති හැඩයකට කැබලි කපාගන්න. ඉතිරි ඉඳි ආප්ප වලින් පහසුවෙන්ම වැලිතලප සාදාගාන්නා ක්‍රමයයි මේ. දැන් මෙම වැලිතලප තේ මේසයට පිළිගන්වන්න.
by Kaushalya De Silva
964 Views
Comments