ගෝවා රෝල්ස්

රෝල්ස් කිව්වම මතක් වෙන්නේ පාන් කුඩු දවටපු කර කර ගා හැපෙන කඩවල් වල තියෙන රෝල්ස් ජාති නේ. ඒත් අද අපි ඔයාලට ගෙනාව රෙසපිය පෝෂණ ගුණයෙන් ඉතාමත්ම ඉහළ වගේම ඉතා ඉක්මනින් හදාගන්නත් පුළුවන් විශේෂිත වෙනස්ම ආකාරයේ රෝල්ස් එකක්. එළවළු කන්න අකමැති පොඩ්ඩන්ටත් මේ රොල්ස් අළුත්ම වෙනසක් එක් කරාවි. ඒ නිසා අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේකට මස්, මාළු, බිත්තර කිසිම දෙයක් එකතු කරලා නෑ. තනිකරම වෙජිටේරියන්. ඒත් කැමති නම් තම්බාගත් මස් මාංශ එකතු කරගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ලොකු ගෝවා කොළ 4 ක්
- පාන් වාටි ග්‍රෑම් 50
- අල ග්‍රෑම් 50
- කැරට් ග්‍රෑම් 50
- බෝංචි ග්‍රෑම් 50
- චෙඩාර් හෝ මොසරැල්ලා චීස් ග්‍රෑම් 25
- සැල්දිරි ග්‍රෑම් 25
- රස අනුව ලුණු කුඩු ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ඔලිව් තෙල් තේ හැදි 01ක්
සාදන ආකාරය,
මුලින්ම ගෝවා කොළ හැර අනෙක් එළවලු සියල්ලම තීරු ලෙස කපාගන්න. ගෝවා කොළත් මැදින් දෙකට වෙන්කරගන්න. දැන් මේ සියල්ලම හුමාලයෙන් තම්බා ගන්න. බෝංචි කොළ පැහැයටම තියෙන්නට තම්බා ගන්න මතක තියාගන්න. තම්බා ගත් පසුව එයට ලුණු හා ගම්මිරිස් ඉසින්න. චිස් ටිකත් තීරු ලෙස කපා සැල්දිරි ද කුඩාවට කපාගෙන පැත්තකින් තියන්න. මීළඟට ගෝවා කොලය ලෑල්ලක් මත තබා ඒ මතට තම්බා ගත් එළවලු, පාන් වාටි සහ චිස් හා සැල්දිරි කැමති ප්‍රමාණයට තබා රෝල් කරගන්න. ඔළිව් තෙල් තවරා ගත් තැටියක තබාගන්න. එයට උඩින් ග්‍රේට් කරගත් චීස් ටිකක් දාන්න. විනාඩි 3ක් පමණ අඩු ගින්දරේ තබන්න නැතිනම් විනාඩියක් පමණ මයික්‍රෝවේව් හෝ ඔවන් එකක තබන්න. චීස් ටික දියවෙන ගානට බැදෙන්නට ඕන. ඔබ කැමති සෝස් වර්ගයක් සමග උණු උණුවෙන්ම පිළිගන්වන්න.
by Kaushalya De Silva
1185 Views
Comments