"මේ අවුරුද්දේ ටෙලි නාට්‍ය කලාවෙන් සමුගන්න තීරණයක් අරන් තියෙනවා" - සජිත ඇන්තනී (PHOTOS)

ළමා නළුවෙකු ලෙස අතිශය ජනප්‍රිය වූ ඔහු මේ වන විට ක්ෂේත්‍රයේ අති දක්ෂ තරුණ නළුවෙකු, ගායකයෙකු, නර්තන ශිල්පියකු පමණක් නොව නිවේදකයකු ලෙසද තම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටියි. නමින් සජිත අනුත්තර ඇන්තනී මෙවර හදගැස්ම සමඟ කතා බහට එකතු වුණා. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවයි...
කොහොමද මේ දවස්වල ?
මේ දවස් වල වැඩ කටයුතු ඇත්තටම හොඳයි. කොරෝනා කාලේ අතපසු වුණ වැඩට හරියන්න මේ දවස් වල වැඩ හොඳටම කරගෙන හොඳින් ඉන්නවා.
ළමා නළුවෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ ගායකයෙකු, තරුණ නළුවෙකු හා නිවේදකයකු වශයෙන් ගොඩනඟා ගත් ප්‍රතිරූපය අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවට පරිවර්තනය වීම ගැන ඔබේ පැහැදිලි කිරීම කුමක්ද ?
මම මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සූරිය අරණ චිත්‍රපටියෙන්. ඊට පස්සේ තරුණ නළුවෙක් ලෙස මම එලියට ආවේ 'බොහිමීයානුවා' ටෙලිනාට්‍යයෙන්. මුලින්ම කියන්න ඕනේ ළමා නළුවෙකු ලෙස පැමිණිලා තරුණ නළුවෙක් වෙනකම්ම ක්ෂේත්‍රයේ රැඳී සිටීමේ කඩඉමම ටිකක් අමාරු දෙයක්. ඒ වගේම කියන්න ඕනේ මම රංගනය, ගායනය හා නර්තනය කියන subjects තුනටම ආසයි. ආදරෙයි. නමුත් අධ්‍යක්ෂණය කියන්නේ ඒ විෂයන් තුනටම උඩින් තිබෙන මම ආසම දේ කියලා කියන්න පුළුවන්. එකපාරටම චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයකින් ආරම්භ නොකර මියුසික් වීඩියෝවකින් ආරම්භ කිරීම හොඳයි කියලා හිතුනා. මොකද ඒක හොඳ අත්හදා බැලීමක් කියලා මට හිතුණා.
නළුවෙක් හෝ නිළියක් ඔවුන් රඟ දක්වන එක චරිතයක් සාර්ථක වූ සැණින් එවැනි චරිත තුළම ලේබල් වීම ගැන ඔබේ අදහස කුමක්ද ?
ඇත්ත. එහෙම තත්ත්වයක් ලංකාව ඇතුලෙ තිබෙනවා තමයි. කවුරුහරි කොමඩි චරිතයක් කළොත් එයා දිගටම කොමඩි චරිතයකට කොටු කරනවා. කවුරුහරි චන්ඩි චරිතයක් හොඳටම කලොත් සදාකාලික චන්ඩියා ඒ නළුවා වෙනවා. දැන් මට වුණත් වෙළෙඳ දැන්වීම් හරහා සරාගේ චරිතය ඉල්ලනකොට මම බොහොම කාරුණිකව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මොකද මම කැමතියි ඒ චරිතය මම ඒ අදාල නිර්මාණයට පමණක් සීමා කරන්න. මොකද චරිතයක මතකයක් ඉතුරු කළාම ඒ චරිතයට ආදරේ කරනවා. චරිතයකින් තවත් චරිතයකට මාරු වෙන එක ලේසි නෑ තමයි. මේ අවස්ථාවල මම ඉන්නෙත් ඒ අභියෝගයට මුහුණ දීලා. ඒත් අපේ රටේ ඕනෑ තරම් නළු නිළියන් ඉන්නවා ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන අය. මම follow කරන්නේ එහෙම අයවයි. අනිත් එක බොහෝ විට එවැනි චරිත තෝරා බේරා ගැනීමේ වගකීම තියෙන්නෙ ඒ අදාල නළුවාගේ හෝ නිළියගේ අතේම තමයි. මොකද අධ්‍යක්ෂවරයෙක් cast එක ප්ලෑන් කරන විට තමන්ගේ ඔළුවට එන්නේ අර එකම චරිතයට කොටු වුණු නළුවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක අසාධාරණයක් තමයි. ඒ නිසා විවිධ අත්හදා බැලීම් කරමින් අභියෝගය බාර ගැනීම ඒ නළුවා හෝ නිළිය සතුව කීමක් කියලයි මම කියන්නේ.
අද වන විට බොහෝ නළුවන් ටෙලිනාට්‍ය වලින් මිදී චිත්‍රපට නළුවන් යන කැටගරියට පමණක් යන්නට සීමා වීමට උත්සාහ කිරීම සජිත ඇන්තනී දකින්නේ කොහොමද ?
ඒක මෙහෙමයි. ඕනෑම නළුවෙක්ගේ එකම හීනය තමයි සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ නළුවෙක් වීම. ඒක මටත් අදාලයි. ඒක ටෙලි නාට්‍ය මෙගා නාට්‍යවල රඟපාන නළු නිළියන්ගේ සිට අදාලයි. ඒකට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ සිනමාවේදී තමන්ව දකින්නේ දහදොළොස් ගුණයක් ලොකු වෙලා. ඒක මාර ෆීලින්ග් එකක්. ඉතින් එහෙම චිත්‍රපට නළුවෙක්ම වෙන්න ඕනේ කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක් කියලයි මම නම් හිතන්නේ. හැබැයි මේ වන විට ඔබ කියන දේ අනිත් පැත්තට සිදුවෙලා තිබෙන්නේ. ඒ කියන්නේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක සිනමාවේ සිටින සියලු ශිල්පීන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා තිබෙනවා. අනිත් කාරණාව නම් 'සූරිය අරණ' 'කුරුලු පිහාටු' වගේ චිත්‍රපට නිසා තමයි මට 'නාඩගම්කාරයෝ' සහ 'බොහිමියානුවා' වගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
ලංකාවේ බොහෝ චිත්‍රපට ට්‍රේලරයට පමණක් සීමා වෙලා තිබෙනවා. එයිනුත් බොහෝ විට ගොදුරු වන්නේ තරුණ නිර්මාණකරුවන්. තරුණ නළුවෙකු හා නිර්මාණකරුවකු වශයෙන් ඔබේ අදහස කුමක්ද ?
ලංකාවේ සිනමා ශාලා තිබෙන්නේ හරිම සීමිත ගනනක්. ඒ සීමිත සිනමා ශාලා වලට යම්කිසි චිත්‍රපටියක් ආවහම ඒක ධාවනය වෙන නියමිත දිනවකවානුවක් තිබෙනවා. ඒ පටිපාටිය තරුණද මහලුද කියලා වයස් බේදයක් නැහැ. හරියටම ඒ ක්‍රියාවලිය දැනගෙන ඉන්නවා නම් එහෙම ප්‍රශ්නයක් නෑ. චිත්‍රපට සංස්ථාව එහෙම විශේෂයක් කරනවා කියලා මම හිතන්නේ නෑ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් නම් තිබෙනවා ඒ සමහර චිත්‍රපට නිෂ්පාදකයන්ගේ යම් යම් තීරණ තීන්දු නිසා චිත්‍රපට පෙන්වා ගැනීමේ ගැටලු තිබෙනවා. මොකද මගේ සමහර යාළුවන්ටත් එහෙම සිද්ධි වලට මුහුණ පාන්න වෙලා තිබෙනවා. හැබැයි හරියටම මොකක්ද වෙන්නේ කියලා කියන්න තරම් දැනුමක් මට නැහැ. මොකද මම තාමත් චිත්‍රපටයක් කරලා ඔය ක්‍රියාපටිපාටියට ඇතුළත් වෙලා නැති නිසා. මම ඒ ගැන කතා කරන්නවත් සුදුසු නෑ කියලයි මම හිතන්නේ.
ජැක්සන් ඇන්තනී නම් නළුවාව සජිත ඇන්තනී තුළින් ඉස්මතු වීම ඔබට ආශිර්වාදයක් ද ? අසාධාරණයක් ද ?
සරලවම කිව්වොත් ඔය ප්‍රශ්නයට පිළිතුර ජානමය බලපෑමක් කියලා කියන්න පුළුවන්. ජැක්සන් ඇන්තනී මගේ අප්පච්චි වීම, මම සලකන්නේ ආභරණයක් විදිහට නෙමෙයි. ඒක මට මාර පන්නරයක්, මාර හයියක් කිව්වොත් තමා වඩාත්ම නිවැරදි වන්නේ. මාව මගේ අප්පච්චි වගේ දකින්න එකෙත් දෙපැත්තක් තිබෙනවා. මොකද ඒක සුබවාදීව දකින පිරිසක් ඉන්නවා වගේම ඒක නරක ලෙස දකින පිරිසකුත් ඉන්නවා. දැන් මෙහෙමයි, මගේ අප්පච්චි ජැක්සන් ඇන්තනී කියලා මට දක්ෂතාවක් නැත්නම් රඟපාන්න දෙන්නේ නැහැ. මේ ටැලන්ට් එක උපතින් ආවට වැඩක් නැහැ. යම් දෙයක් කිරීමට නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. කුසලතාව, අධ්‍යාපන සහ අභ්‍යාස කිරීම. මම ඒ කරුණු තුනම අනුගමනය කරනවා.
සජිත ඇන්තනීගෙ ඉදිරි වැඩකටයුතු සඳහන් කරමු ?
මම රඟපෑව චිත්‍රපට 4ක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තිබෙනවා. ඒ අතරින් ප්‍රසන්න විතානගේ මහතාගේ 'ගාඩි' චිත්‍රපටය මුලින්ම තිරගත වෙන චිත්‍රපටිය වෙයි. මගේ අප්පච්චි නිර්මාණය කරපු 'එකගෙයි සොකරි', ප්‍රවීණ චිත්‍රපට කැමරා අධ්‍යක්ෂකවරයෙක් වන චන්න දේශප්‍රිය මහතාම ලියා අධීක්ෂණය කළ 'දුස්‍රා' සහ අලුත්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සසික හේරත් නිර්මාණය කළ 'සිහින සමීකරණය' කියන චිත්‍රපට හතරයි. ඒ වගේම ටෙලි නාට්‍ය අතින් ගත්තොත් 'අඳුන්ගිර' හා 'නාඩගම්කාරයෝ' කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඒ නාට්‍ය දෙක ඉවර උනාම මේ අවුරුද්දට ටෙලි නාට්‍ය කලාවෙන් තාවකාලිකව සමුගන්න තීරණයක් අරන් තිබෙනවා. ඒ වගේම මගේ අලුත්ම ගීත කිහිපයක් එන්න තිබෙනවා. ඒ අතරින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නලින් අයියා මං වෙනුවෙන් නිර්මාණය කරපු 'මන්දෝදරී කුමරිය' ගීතයට රූප රචනාවක් කිරීම ගැන හිතමින් කාලය ගෙවනවා. අපේ සංගීත කණ්ඩායම 'Mid Lane' ඒකටත් බොහෝ සෙයින් ආරාධනා ලැබෙනවා. ඒ ඔක්කොම වැඩ බැලන්ස් කරගෙන සතුටින් ඉන්නවා.
- මව්බිම හදගැස්ම -
රමෝද් ජයවර්ධන
13528 Views
Comments