"චිත්‍රපට ප්‍රමාදය මගේ නිළිකමට අසාධාරණයක්" - උදාරි වර්ණකුලසූරිය (PHOTOS)

සිනමා තිරයේ සුවිශේෂී චරිත රාශියකින්ම ඔබ හමුවට ආ සුන්දර රුවැත්තිය උදාරි වර්ණකුලසූරිය මේ දිනවල නැවත පුංචි තිරයෙන් දැකබලා ගන්න ලැබෙනවා. ඒ චරිත් අබේසිංහ අධ්‍යක්ෂණ කරන ලද ‘නම්බර් 9’ ටෙලි සිතුවමෙන්. ඒ නිසාම කාලෙකට පස්සේ පුංචි තිරයට ආ උදාරිගේ අලුත්ම විස්තර දැන ගන්න අපි උදරිට කතා කළා.
උදාරි මේ දවස්වල කොහෙද ඉන්නේ ?
මේ දවස්වල නම් මම ඉන්නේ සිංගප්පූරුවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමා ආවේ.
ලංකාවට එන්නේ කොයි කාලෙද ?
මාර්තු මාසේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා.
කොච්චර කාලයක් ඉන්න බලාගෙනද එන්නේ ?
මේ සැරේ නම් එන්නේ සතියකට. මගේ උපන් දිනය නිසා තාත්තාත් ඔස්ට්‍රේලියාවේ අයියා ගාව ඉඳලා මාව බලන්න ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ නිසා තාත්තවත් බලන්න එක්කම මමයි, මහත්තයයි ලංකාවට එන්න ඉන්නේ.
අම්මා ඉන්නේ තවම නිව්ෙයා්ර්ක්වලද ?
ඔව්. මගේ අම්මත් කලාවට ගොඩක් ළැදි නිදහසේ ජීවිතේ ගත කරන්න කැමැති කෙනෙක්. අම්මා නිව්ෙයා්ර්ක්වලදී රූකාන්ත අයියා සහ චන්ද්‍රලේඛා අක්කා එක්ක තමා වැඩියෙන්ම හිටියේ. ඒ අය දැන් ලංකාවේ. නමුත් අම්මා තවම එහේ. මගේ අම්මට හොඳට සින්දු කියන්න පුළුවන්. තාත්තට තමා මාව කලා ලෝකයට ගෙන්න ඕනේ වුණේ. ඒත් මට මගේ රංගන ජීවිතේටත් අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා
කොහොමද සිංගප්පූරුවේදී ගතකරන ජීවිතේ ?
බොහොම සැහැල්ලුවෙන් නිදහසේ ගත කරනවා. වැඩිපුරම ඉන්නේ ගෙදරට වෙලා. දුව පාසල් ගියාම ෆිල්ම් බලනවා. දුව ආවට පස්සේ එයා එක්ක එයාගේ ලෝකය වෙලා ඉන්නවා.
දැන් දුවට වයස කීයද ?
දැන් අවුරුදු 10ක්. අවුරුදු 7ක් යනකම් ලංකාවේ ඉගෙන ගත්තේ. දැන් මෙහෙ අධ්‍යාපනය ලබන්නේ.
දුව අම්මා වගේ කලාවටද නැත්නම් තාත්තා වගේ අධ්‍යාපනයටද වැඩි කැමැත්ත ?
එයාට ඉතාමත් දක්ෂ ලෙස වයලීනය වාදනය කරන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක්ම දක්ෂයි චිත්‍ර අඳින්න. එයාගේ වයසට වඩා එයාගේ චිත්‍ර ඉදිරියෙන් තියෙනවා. පෙනුමේ ඉඳන්ම දුව තාත්තා වගේ. ඉගෙනීම් වැඩත් එහෙම තමයි. පන්තියේ මොනිටර් තමයි දුව. ඒ වගේම රෝල්ඩ් මොඩ්ල් ඔෆ් ඉයර් වෙලා තියෙනවා දුව. හැම අම්මා කෙනෙක්ම කැමැති තමන්ගේ දරුවන් ඉහළට යනවා දකින්නනේ. මමත් අම්මා විදියට දුව ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නේ.
එතකොට දුව අම්මා ඉන්න නිර්මාණ බලනවද ?
ඔව්. දුවත් හරි ආඩම්බරෙන් ඉන්නේ අම්මා නිළියක් වීම ගැන. එයා පාසලේ ළමයින්ට පවා කියලා තියෙන්නේ. දැන් ඉස්කෝලේ ඇරිලා එද්දී වැන් එකෙන් බහිනකොට ගන්න පහළට එන්න කියලා තියෙන්නේ. මොකද එයාගේ යාළුවන්ට අම්මව පෙන්වන්න.
සැමියාගෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු ?
අනිවාර්යෙන්ම. මගේ මහත්තයා සුජිත් විජේරත්න. ඔහු ලබා දෙන නිදහස තමා මගේ සාර්ථකත්වය. මොකද පවුල් ජීවිතේ සහ රංගන ජීවිතේ සාර්ථක කරගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. මම මෙහෙ නැති කාලෙට දුවගේ වැඩත් බලාගෙන මගේ හැකියාවන් තේරුම් අරන් ඔහු මට ලබා දෙන සහයෝගය තමා වටිනාම දේ. මම විශ්වාස කරන්නේ මම පෙර පිනක් කරලා තියෙනවා මෙවැනි සැමියෙක් ලබන්න.
මේ කාලයේ දකින්න ලැබෙන ‘නම්බර් 9’ ටෙලි නිර්මාණය ගැන කතා කරමුද ?
මේක අපි රූපගත කරලා අවුරුද්දක් විතර වෙනවා. චරිත් අයියා තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. මෙය චරිත් අයියගේ අධ්‍යක්ෂණයක් වගේම ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන පළමු නිර්මාණය. ඒ එක්කම මෙහි පිටපත ලියලා තියෙන්නේ ධනංජය සිරිවර්ධන. මම ධනංජය අයියගේ පිටපතක වැඩ කරන පළමු අවස්ථාව. ඉතාම සුන්දරව වැඩ කරපු නිර්මාණයක්. මහේන්ද්‍ර පෙරේරා, ධනංජය සිරිවර්ධන, දෙව්නක පොරගේ, සුනීතා විමලවීර වගේ අය මෙහි රඟපානවා. මට වැඩියෙන්ම රූපගත කිරීම් තිබ්බේ දෙව්නක එක්ක.
කාලෙකින් පුංචි තිරයෙන් දකින්නේ, කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
ප්‍රේක්ෂකයන් ආසාවෙන් හිටියා මාව නැවත පුංචි තිරයෙන් දකින්න. ඒ නිසා මේ නිර්මාණය බොහොම ආදරෙන් වැලඳගෙන තියෙනවා කියන හැඟීම ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා. ඒ ගැන හරි සතුටුයි වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ බොඳ මිදුම් නිර්මාණය තුළින්. ඒ ලැබුණු ආදරය බිඳුවක්වත් අඩු නැතුව අදටත් මම ලබනවා.
දෙවැනි කොටසේ එන සංඥා ආදර කොටස බොහෝ දෙනෙක් ආදරෙන් වැලඳගෙන තියෙනවා ?
ඒ කොටස බැල්කනි දෙක අතර ඉඟියෙන් ආදර ප්‍රකාශනයක් කියලා ධනංජය අයියා පිටපතේ ලියලා තිබ්බා. ඉතින් මමත් චරිත් අයියා සහ දෙව්නක ඒ ගැන කතා කරලා මම මෙහෙම කරොත් තේරෙයිද කියන එක ගැන හිතලා ඒ මොහොතේ හිතලා කරපු දෙයක්. මොකද රෑ වෙලා එන්නේ ඒ නිසා තරහක් තියෙන්න ඕනේ. ආදරය කරන දෙන්නෙක් නිසා ඒ තුළ දඟකාරකමක් තියෙන්න ඕනේ. කෑවද, නිදා ගන්න කියන වගේ ආදරණීය බවක් දැනෙන්න ඕනේ. ඒ නිසා සියල්ල එකතු කරලා අපි ඔහොම කරපු කියලා කතා වෙලා මුලින්ම කරලා බැලුවා. මොකද අපි ඉඟියෙන් කියන දේ ප්‍රේක්ෂකයාටත් දැනෙන්න ඕනේ. මටත් අදටත් ඒ කොටස ඒ විදියටම මතකයි.
ටෙලි නිර්මාණවලින් ඈත් වුණේ සිනමාවට ආරාධනා වැඩි නිසාද ?
එහෙම නැහැ. නමුත් මෙගා නාට්‍ය එක්ක නම් වැඩ කරන්න අදහසක් නැහැ. අඩු කොටස් ප්‍රමාණයක් තියෙන නිර්මාණවලින් ඉදිරියටත් දකින්න ලැබෙයි. එහෙම නැතුව ටෙලිද සිනමාද කියන බෙදීමක මම නැහැ. තාවකාලිකව පුංචි තිරයෙන් ඈත් වුණේ පසුගිය කාලේ සිනමාවට වැඩි කාලයක් වෙන් කරන්න වුණා ලැබුණු ආරාධනා එක්ක.
සිනමාවේ මොනවද ඔබේ එන්න තියෙන නිර්මාණ ?
මම සිනමාවේ කරපු නිර්මාණ හතක් එන්න තියෙනවා. මේ වෙද්දී බෙනට් රත්නායක මහතාගේ ‘කවුරුවත් දන්නේ නැහැ’ තිරගත වුණා. ඒ වගේම ජැක්සන් ඇන්තනි මහතාගේ ‘එකගෙයි සොකරි’ සහ ‘දේවි සම්බුලා’, ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘මිදුණු විශ්වය’, සුනිල් ආරියරත්න මහතාගේ ‘ක්ෂිර සාගරය කැලඹිලා’, සරත් වීරසේකර මහතාගේ ‘ශ්‍රී සිද්ධා’ සහ සංජීව පුෂ්පකුමාර මහතාගේ ‘ආසු’, සිවදාසන් මහතගේ ‘දෙවන යුද්ධය’. ඒ එක්කම තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මැයි සහ ජුනි මාසවල එහි රූපගත කිරීම් බොහෝ දුරට ආරම්භ වෙයි.
මේ චිත්‍රපට තිරගත වෙන කාලය නිශ්චිත නැහැනේ, ඒ ගැන මොකද හිතෙන්නේ ?
ඒ ගැන ලොකු කනගාටුවක් තියෙන්නේ. බොහොම ආසාවෙන් ඉන්නවා කරපු නිර්මාණ ආදරණීය සිනමා රසිකත්වයට දකින්න සලස්වන්න. නමුත් බොහොම ආදරෙන් කැපවීමෙන් කරපු නිර්මාණ නිසා එළියට දාන්නම් වාලේ දාන්නත් බැහැනේ. දරුවෙක් හදනවා වගේම ආදරෙන් කරපු නිර්මාණ එකතුවක් තියෙන්නේ. මමත් දින ගනිමින් මග බලන් ඉන්නවා. මේ ප්‍රමාදය තුළ මගේ නිළිකමට අසාධාරණයක් වෙනවා.
ඉදිරියට එන්නේ ඔබේ කාලය කිව්වොත් ?
ඇත්තටම එහෙම හිතෙනවා නම් මට සතුටුයි. විශේෂයෙන් කොරෝනා කාලය ගත්තම බොහෝ කලාකරුවන්ට වෘත්තීය පැත්තෙන් ලොකු බාධා සහ ආර්ථික අපහසුතා ආවනේ. නමුත් මම වැඩියෙන්ම වැඩ කළේ මේ කොරෝනා කාලයේ.
උදාරිට ගැළපෙන චරිතවලටම ආරාධනා ලැබීම ගැන මොකද හිතන්නේ ?
මම ඒක දකින්නෙත් පෙර පිනක් විදියට. බොහොමයක් ආරාධනා ලැබුණේ මට මගේ රංගන පරාසය තුළ සාර්ථකව කරන්නට හැකි නිර්මාණවලට. එහෙම නැති නිර්මාණවලට ආරාධනා ලැබිලා ප්‍රතික්ෂේප කරපු අවස්ථාත් නැතුවම නෙවෙයි. මොකද චරිතවලට කෑදරකමින් ලැබෙන හැම චරිත්යක්ම මම භාරගන්නේ නැහැ. නමුත් බහුතරයක් ඔබ කියන විදියට මට දෙයක් කළ හැකි නිර්මාණවලට තමයි ආරාධනා ලැබුණේ.
අපේ ඉන්න නිර්මාණකරුවන් අධ්‍යක්ෂකවරුන් උදාරි දකින්නේ කොහොමද ?
මම සිනමාවට එන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ නිර්මාණයකින්. එතැනින් පසුව මට විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න ලැබුණා. මම දකින්නේ අපිට අති දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා. ඔවුන්ගෙන් ලබන්න පුළුවන් දැනුම අතිමහත්. උදාහරණයක් විදියට ජැක්සන් සර් සහ ජයන්ත සර් කියන්නේ පරාස දෙකක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්. ඔවුන් ළඟින් එකට හිටගෙන ගන්න හුස්මක් පවා මට නම් නිධානයක්. ඔවුනුත් මා තුළින් යම් හැකියාවක් දකින්න ඇති මාව නිර්මාණවලට ගන්න. නැත්නම් ජැක්සන් ඇන්තනි මහතා ඔහුගේ දැවැන්ත නිර්මාණයක් වන භාෂා ද්විත්වයකින් සමන්විත දේවි සම්ම්බුලාහි චරිතයට පවා මාව තෝරා ගන්නේ නැහැනේ. ජයන්ත චන්ද්‍රසිරි මහතා කියන්නේ රංග පාසලක්. මට ෂූටින් නැති දවස්වලත් මම ලොකේෂන් එකට ගිහින් ඒ දැනුම ලබාගෙන තියෙනවා. අනිත් අතට සංජීව පුෂ්පකුමාර කියන්නෙත් අධ්‍යක්ෂණය ගැන නිසි හැදෑරීමක් කරපු අධ්‍යක්ෂවරයෙක්. මේ අය අපේ සිනමාවට සුබ ලකුණු.
ලැබුණු සම්මාන ගැන කතා කළොත් ?
මම සම්මාන බලාගෙන කවදාවත් රංගනයේ යෙදිලා නැහැ. නමුත් සම්මාන කියන්නේ අපේ වෘත්තීය රංගන ජීවිතේට ලැබෙන ඇගයීමක්. මේ වෙද්දි ජනප්‍රියම සම්මානය පස් වතාවක් මම ලබලා තියෙනවා. මම විශ්වාස කරනවා සුදුසු තැනකදී සුදුසු වෙලාවට මට හොඳම නිළිය වෙන්න වාසනාව ලැබෙයි කියලා.
වැඩිපුර ලංකාවේ කාලය ගත කරන්න එන්න ඉන්නේ කොයි කාලෙටද?
මැයි, ජුනි, අගෝස්තු වගේ මාසවල මගේ සිනමා නිර්මාණ එළිදක්වන්න නියමිතව තියෙනවා. ඒ වෙද්දි අනිවාර්යෙන්ම ලංකාවට එනවා. පවතින තත්ත්වය එක්ක නිශ්චිතව දින වකවානු කියන්න අමාරුයි. ඉතින් අලුත් නිර්මාණයක් භාර ගත්තොත් ලංකාවට එනවා.
ආපු ගමන් මග ගැන සහ අවසාන වශයෙන් කියන්න යමක් ඇති ?
ගොඩක් සතුටුයි. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් වෙලා ඉන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා කියන එක. ඒ අය හැමදාම මගෙත් එක්ක හිටියා. මට ජීවිතේ දැනුණු හැම දුක සැපක්ම ඔවුන් මා එක්ක බෙදා ගත්තා. ඒ නිසා ඒ ආදරයට මම හැමදාම හිස නමා ආචාර කරනවා. ඒ විතරක් නෙවෙයි මාව විවිධ වූ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට අරන් ගිය සියලුම නිර්මාණකරුවන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මාධ්‍යයට ස්තුතියි. ඔවුන් තමයි අපිව ජනප්‍රිය තලයේ රඳවා තබන අතරමැදියන්. කලාකරුවන් ගැන ප්‍රේක්ෂකයන් ගැන කතා කරත් මේ දෙගොල්ලන් සමීප කරන ශ්‍රව්‍ය දෘශ්‍ය සහ මුද්‍රිත මාධ්‍යය ගැන කතා වෙන්නේ අඩුවෙන්. ඒ නිසා මම ඒ අයටත් මගේ ආදරණීය ගෞරවය පිරි ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
අනුෂා රණසිංහ
2088 Views
Comments