ලයිට් කැපුවම ජෙනරේටර් වලට ගහන්න ඩීසල් නැතුව TV රේඩියෝත් කලින්ම කඩේ වහයි

ඩීසල් හිඟය නිසා රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල විකාශන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
එම නාලිකාවල විකාශනාගාරවල කෙරෙන විකාශන කටයුතු, විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවලදී ජෙනරේටර් මගින් සිදුකරන බව ත් මේ වන විට ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් නොමැතිවීම අර්බුදයක් බවට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
පැය විසි හතර පුරා විකාශන කටයුතු කළ බොහොමයක් විද්‍යුත් විකාශන පවතින තත්ත්වය හේතුවෙන් මේ වන විට රාත්‍රි 9.00 හෝ 10.00 වන විට සිය විකාශන කටයුතු නිමා කිරීමට පෙළඹී ඇතැයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මේ සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට සහ අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා යැවූ බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නුවන් ජූඩ් ලියනගේ මහතා පැවසුවා.
මේ සම්බන්ධව අමාත්‍යංශය වෙත දන්වා යැව්වේ ඉකුත් බ්‍රහස්පතින්දා බවත් අමාත්‍යංශය යම් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පමණක් පැය හතහමාරක විදුලිය විසන්ධි කිරීමට මුහුණ දීම සඳහා විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් මසකට ඩීසල් ලීටර් 102,000ක් අවශ්‍ය වන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මේ සම්බන්ධව යම් පියවරක් ගන්නේ දැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉන්ධන සැපයීමේදී ජනමාධ්‍යවලට ප්‍රමුඛතා දෙන්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දන්වා යවන බවය.
විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විකාශකයන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාගෙන එය දැනුම් දීමට කටයුතු කරමින් සිටින බවද ලේකම්වරයා පැවසුවා.
1065 Views
Comments