හොර පාරෙන් රට පනින්න හැදූ පිරිසක් මාට්ටු

නීතිවිරෝධී ආකාරයෙන් මුහුදු මගින් මෙරටින් පැනයාමට තැත්කළ පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 19 දෙනෙකු වෑන් රථයක් සමඟ හලාවත මෝය ප්‍රදේශයේදී ඊයේ(09) නාවික හමුදා භාරයට ගත් බව වාර්තා විය.
මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීතිවිරෝධී සංක්‍රමණික කටයුතු ඇතුළු සියලුම නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරයි.
ඒ අනුව නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන ලෙස සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී හලාවත මෝය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ වෑන් රථයක් පරික්‍ෂා කර ඇත.
එම අවස්ථාවේදී නීතිවිරෝධී ආකාරයට මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 19ක් සහ එම වෑන් රථය රියදුරු හා සහායකද සමඟින් තම භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
එම වෑන් රථයේ රියදුරු හා සහායක ඇතුළු පිරිමි පුද්ගලයන් 16 දෙනෙක්, එක් කාන්තාවක්, කුඩා පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු ළමයෙකු නාවික හමුදා භාරයට ගත් පිරිසට අයත් වෙයි.
ඔවුන් කිලිනොච්චිය, යාපනය, වත්තල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන් වල පදිංචි පුද්ගලයින් බවට හඳුනාගෙන ඇත.
876 Views
Comments