නව වසරේ පාර්ලිමේන්තුව අද ඇරඹෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

නව වසරේ පාර්ලිමේන්තුව අද ඇරඹෙයි

නව වසරේ පාර්ලිමේන්තුව අද ඇරඹෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ඊට පෙර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

 

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වේ.

 

ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදු කෙරේ.

 

පෙ.ව  09.15 ට ආරාධිත අමුත්තන්ගේ  පැමිණීම සිදුවන අතර, එහිදී  පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමට සිදුවීමට නියමිතයි.

 

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ පැමිණීමෙන් පසු,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම  සිදු වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

 

එහිදී කථානායකතුමා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගැනීමට නියමිතයි.

 

 ඉන් පසුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

 

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, අතිගරු ජනාධිපතිතුමාට ආශිර්වාද  කරනු ලබයි.

 

ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන්  අනතුරුව, සභාව කල් තැබීම සිදුවේ.

 

ඉන් පසු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

views

625 Views

Comments

arrow-up