අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැන් 14යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැන් 14යි

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැන් 14යි

නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද පත් කිරීමත් සමග අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 14 දක්වා ඉහළ යනවා.

 

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් නව අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබුවා.

 

ඒ අනුව නිදහස් පක්ෂය නියෝජනය කළ නිමල් සිරිපාල ද සිල්වා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මනූෂ නානායක්කාර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී ස්වාධීන වූ කණ්ඩායමේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, එම කණ්ඩායම නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි.

 

ඔහු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුරය දරණ සමයේ ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයු කළා.

 

පාර්ලිමේන්තුවේ මෑතකදී ස්වාධීන වූ පක්ෂ දහය නියෝජනය කරන එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

 

පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, යළි එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ රමේෂ් පතිරණ යළි එම අමාත්‍ය ධුරයේ අද දිවුරුම් දෙනු ලැබුවා.

 

මීට පෙර මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.

 

මේ අතර, ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ගත් හරීන් ප්‍රනාන්දුගේ සහ මනූෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

 

ඊට අදාළ ලිපි ඔවුන් වෙත යොමුකළ බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහයෝගය දීමට තීරණය කළ ද අමාත්‍ය ධුර ලබා ගැනීමට තීරණය නොකළ බවයි.

views

572 Views

Comments

arrow-up