"ජනතාවාදී ආණ්ඩුවක් එනතුරු එක ඩොලරයක් එවන්නේ නෑ" විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ කියති

වත්මන් පාලනය ඉවත් කර දූෂණයෙන් තොර ජනතා හිතවාදී පාලනයක් රට තුළ ඇති වන තෙක් එකම ඩොලරයක් හෝ රටට නොඑවන්නට තමන් තීරණය කළ බව "වෙනසක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ" සංවිධානය පවසයි.
එම සංවිධානය ඔස්ට්‍රේලියාව, ඉතාලිය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.
එහි කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික මනෝජ් ගමගේ කියා සිටියේ, ජනාධිපතිවරයා ජාතිය අමතමින් රටේ ප්‍රශ්නවලට ඇත්ත විසඳුමක් වෙනුවට වෙනත් අයට වරද පටවන්නට කළ උත්සාහය පිළිබඳව තම සංගමයේ විරෝධය පළ කරන බවය.
මුළු මහත් රටම අතිශය බරපතළ ආර්ථික අර්බුදයක ගිලී ජනජීවිතය අවම පහසුකම් යටතේ හෝ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති මෙවැනි මොහොතක රටක ජනාධිපතිවරයෙකු මීට වඩා වගකීම්සහිත මැදිහත්වීමක් සිදුකළ යුතු බව තම සංගමයේ විශ්වාසය යැයිද හෙතෙම කියා සිටියේය.
රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව පිළිගනිමින් ඊට ආණ්ඩුවේ විසඳුම් මොනවාද යන්න රටට ප්‍රකාශ කළ යුතුව තිබියදී ඉතාමත් සරල ලෙස සංචාරකයන් හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට එවන මුදල්වලින් රටේ විනිමය අර්බුදය විසඳා ගැනීමට බලා සිටීම හාස්‍යජනක කටයුත්තක් යැයිද ඔහු කියා සිටී.
වත්මන් අර්බුදය පැන නැගුණේ සංචාරකයන් නොපැමිණීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට මුදල් නොඑවීම හෝ රටේ ජනතාව තම වගකීම් පැහැර හැරි නිසා නොවන බව ත් මේ වනවිට රටට ඩොලර් එවූ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පවා ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල සිටින බවත්, විදුලිය නොමැතිව අඳුරේ සිටින බවත් කී ඔහු, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවූ මුදල් රට බිඳ වැටෙද්දී පවා තම සුඛ විහරණයට යොදා ගත් බලයේ සිටි සහ වර්තමානයේ ද සිටින දුෂීත දේශපාලකයන් මේවාට වගකිව යුතු බව ත් සඳහන් කළේය.
941 Views
Comments