හෙට සිට 30ට වැඩි ඕනෑම කෙනෙකුට එන්නත් ලබාගත හැකි ස්ථාන මෙන්න

හෙට(05) සිට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට දිවයින පුරා පිහිටි තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකින්ම කොවිඩ් එන්නත් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට හෙට සිට සතියේ ඕනෑම දිනයකදී උදෑසන 8.30ත් සවස 4.30 ත් අතර කාලයේ අදාළ රෝහල්වලින් එන්නත්වල පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව නියමිත පරිදි ලබාගත හැකිය.
පනාගොඩ, නාරාහෙන්පිට, වේරහැර පිහිටි යුද හමුදා රෝහල්, බොරැල්ල ගුවන්පුර, කටුනායක, රත්මලාන, ඒකල පිහිටි ගුවන් හමුදා රෝහල්, වැලිසර සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා රෝහල්වලින් මෙලෙස බස්නාහිර පළාත තු-ල අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතී.
එසේම බස්නාහිර පළාතෙන් බැහැර වයස අවුරුදු 60ට වැඩි ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහාද යුද හමුදා රෝහල් කිහිපයක් හෙට සිට ඉඩ සලසා දීමට නියමිතයි.
ගාල්ල කොටුව, මාතර නිල්වලා කඳවුර, දියතලාව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් හි පිහිටි හමුදා රෝහල්වලත් මෙලෙස කොවිඩ් එන්නත් ලබාදීම සිදු කෙරේ.
හෙට සිට මෙම මධ්‍යස්ථානවලින් වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම අයකුට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30ත් සවස 4.30ත් අතර කාලය තුළ එන්නත් ලබාගත හැකිය.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ක්‍රියාවට නැංවෙන බවයි.
1165 Views
Comments