බාලවයස්කාර දැරියන් දෙදෙනා කෙළෙසූ මවගේ හතරවන අනියම් සැමියාට වසර 90 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

වයස අවුරුදු 12 සහ 15ක් වූ බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබූ දැරියන්ගේ මවගේ හතරවන අනියම් සැමියා හෙවත් සුලු පියා සියලූ චෝදනාවලට වරදකරු කරමින් අනුරාධපුර අංක.02 මහාධිකරණයේ පූර්වගාමි විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර අනූවක(90) සිර දඩුවමක් නියම කළේය.
බාල වයස්කාර සහෝදරියන් දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා හයක් යටතේ වෙන් වෙන්ව මහාධිකරණයේ හමුවේ නඩු පැවරුණු අතර සියලූ චෝදනාවට වරදකරු කරමින් වසර විසි පහකට(25) පසුව ඊයේ(06) එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.
මෙහිදි එක් අධි චෝදනාවකට වසර පහළොවක්(15) බැගින් අධිචෝදනා 6ට වසර අනූවක(90) බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණි. ඊට අමතරව එක් අධි චෝදනාවකට රුපියල් 10000 බැගින් අධිචෝදනා හයට රුපියල් 60000ක දඩයක් ගෙවන ලෙසත් එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඩුවමක්ද නියම කළේය.
එසේම වින්දිත දැරියන්ට මුදලින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඩුවමක්ද නියම කළේය. විත්තිකරු සමාජගතව සිට අධිකරණයට පැමිණ ඇති බැවින් ඔහු දින 14 ක කාලයක් නිරෝධායනය කර සිර ගත කරන ලෙසද විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
දඩුවම් නියම වූ ගල්කිරියාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට වන අතර අපරාධය සිදු කරන අවස්ථාවේ ඔහුගේ වයස අවුරුදු 36ක් වූ අතර නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 61ක් විය. විත්තිකරුගේ අතවරවලට ගොදුරු වී ඇති එක් වින්දිත දැරියක් මේවන විට නීති ක්ෂෙත‍්‍රයෙන් උසස් අධ්‍යාපනය ලබා නීති වෘත්තියේ යෙදී සිටින බවද අධිකරණයේදී සඳහන් විය.
4105 Views
Comments