ලංකාවෙම කුණු අපට දෙන්න අපි පොහොර දෙන්නම් - දඹුල්ල නගරාධිපති

සමස්ත ලංකාවේම ඉවත ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කර නැවත රටේ කාබනික පොහොර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාවක් පවතින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. දඹුල්ල මහ නගර සභාව මගින් වසර ගණනාවක සිට කාබනික පොහොර නිපදවන බවත් කාබනික පොහොර ඉල්ලුමේ හැටියට සපයා ගැනීමට නොහැකිව පවතින නිසා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නගරාධිපතිවරයා පසුගිය 14 වන දා එම ඉල්ලීම සිදු කර තිබුණා.
මේ වන විට පළාත් පාලන ආයතන 9ක පමණ ඉවතලන කුණු කසළ දඹුල්ල මහනගර සභාවේ කාබනික පොහොර අංගනයට ලැබෙන බව ද විශාල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් තමන්ට ඉල්ලුම් ලෙස සැපයුම් ලබා දීමට තරම් කුණු කසල නොලැබීම බරපතළ ප්‍රශ්නයක් බව ද පෙන්වා දෙන නගරාධිපතිවරයා මේ හේතුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කුණු කසල තම අංගනයට ගෙනැවිත් භාර දෙන්නේ නම් ඒ සියල්ල බාරගැනීමට සූදානමින් සිටින බවද පැවසුවා. ප්‍රශ්න වලින් හෙම්බත්ව සිටින එයට විසඳුමක් නැති නගර සභා හා ප්‍රාදේශීය සභා වලට තමන් කසල ගෙන දෙන ලෙස ආරාධනා කරන බවත් දඹුල්ල නගරාධිපති වරයා ප්‍රකාශ කළා. මේ වනවිට දඹුල්ල මහ නගර සභාව දිගම්පතන ප්‍රදේශයේ කාබනික පොහොර නිපදවන ස්ථානය ඉතා අලංකාරව කඩිනමින් පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජපන් තාක්ෂණය ඔස්සේ යන්ත්‍රානුසාරයෙන් සිදු කරන පොහොර නිෂ්පාදනය වසර ගණනාවක් තිස්සේ ඉතා සාර්ථකව දඹුල්ල මහ නගර සභාව මගින් සිදුකර ගෙන එන බවත් ඉදිරියේදී ඕනෑතරම් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල මහ නගර සභාව සතුව පවතින බවත් ඒ මහතා පැවසීය. දඹුල්ල දිගම්පතන රජයේ රක්ෂිතයේ වන අලින්ගෙන් ගහනව කුණු කසල බැහැර කරන කසල අංගනයක් බවට පත්ව තිබූ ස්ථානය මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් බවට පත්ව තිබෙනවා. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ මැදිහත්වීම මත ජපන් තාක්ෂණයෙන් යුතුව මෙම ස්ථානයේ ස්ථාපිත කොට ඇති පොහොර නිෂ්පාදනාගාරය තුලින් ප්‍රදේශයේ පමණක් නොව විවිධ පළාත් වල ගොවීන්ට කාබනික පොහොර අලෙවි කිරීමද සිදු කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.
මේ ස්ථානය විශාල සේවක සේවිකාවන් පිරිසගේ රැකියා ස්ථීර භාවය ලබාදීමත් මෙහි නිතර නිතර ඉවත ලන දේ ආහාරයට ගැනීම සඳහා පැමිණෙමින් සිටින වන අලින් 25ක් පමණ කණ්ඩායමට පොලිතීන් සහ වෙනත් අපද්‍රව්‍ය වලින් තොර එළවළු සහ පළතුරු ලබා දීමදත් මෙම ව්‍යාපෘතිය යටතේම සිදුකරන බව නගරාධිපතිවරයා සඳහන් කළා. මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 9කින් රැගෙන එන ඉවත ලන ද්‍රව්‍ය මෙම ස්ථානයේ සිට කාබනික පොහොර බවට පත් කරමින් එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කොට පෞද්ගලික ආයතනයක් සමග එක්ව කාබනික පොහොර නිෂ්පාදනය යුසුළුව සිදුකරමින් සිටින බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පසුගිය කාලයේ මෙම ස්ථානය කසළ සුසානයක් බවට පත්ව තිබියදී දඹුල්ල ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් මෙම පරිසර විනාශය වන සතුන් විනාශය පිළිබඳව අවධානය යොමු කොට ජනමාධ්‍ය හරහා දැඩි ප්‍රචාරයක් ලබාදීම සිදුකළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජපාන තාක්ෂණයෙන් යුතු මෙම කසළ අංගනය දඹුල්ලට ලබා ගැනීමට මූලික දායකත්වය ලැබුණු බවත් නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රකාශ කළා. මේ දිනවල මෙම ස්ථානය සංචාරක ප්‍රවර්ධන ස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළා.
2699 Views
Comments