බෝඩිමේ සිටියදී නිදි යහනේ තම මිතුරාව ගෙල කපා මැරූ නරුම මිතුරා එල්ලුම් ගහට

නිදි යහනේ දී තම මිතුරාව ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුට ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරුවරයා විසින් පසුගිය 15 වනදා මරණීය දණ්ඩනය නියම කළේය.
ආණමඩුව, මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රත්නායක මුදියන්සේලාගේ මහින්ද රත්නායක නමැති 42 හැවිරිදි විත්තිකරුට මෙලෙස මරණීය දණ්ඩනය නියම විය.
වතුපිටිවල යටියන ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පළක දී එවකට 22 වැනි වියේ සිටි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ චමින්ද බණ්ඩාර හෙවත් ගාමිණී නමැත්තා 2005 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ඝාතනය කර තිබූ බවට මහාධිකරණයේදී වාර්තා විය.
විත්තිකරු සහ ඝාතනයට ලක්වූ අය වතුපිටිවල පිහිටි ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවය කර තිබේ.
විත්තිකරු විවාහ වී සිටින්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාති සොහොයුරියක සමඟ වන අතර ඝාතනයට ලක්වූ අය විත්තිකරුගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වන බවට ඇති වූ සැකය හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව මහාධිකරණයේදී අනාවරණය විය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනකු සමඟ එකම කාමරයක නිදා ගෙන සිට තිබේ.
“ටක් ටක්” ගා ඇසුණු ශබ්දයට ඝාතනයට ලක්වූ අයගේ මිතුරන් දෙදෙනා අවදි වී බලන විට විත්තිකරුගේ ඔසවා තිබූ අතෙහි මන්නා පිහියක් තිබෙනු දුටු බවට ලබාදුන් සාක්ෂියත්, විත්තිකරු කාමරයෙන් එළියට යන විට සාලේ දල්වා තිබූ විදුලි බල්බයෙන් විත්තිකරු හඳුනා ගැනීමත්, දුවගිය විත්තිකරු අල්ලා ගැනීමට ඔහු පසුපස හඹා යෑමත් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂිත් විශ්වාසනීය සාක්ෂි ලෙස පිළිගන්නා බව විත්තිකරු වරදකරු කිරීමට ප්‍රථම මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේය.
විත්තිකරු වරදකරු බවට තීන්දු කිරීමෙන් පසුව කීමට යමක් ඇද්දැයි විත්තිකරුගෙන් මහාධිකරණය විමසීමක් කල අවස්ථාවේ ඔහු “සාක්ෂිකරුවන් කියන කිසි දෙයක් මා කළේ නැහැ ස්වාමීනි..” යැයි විත්තිකරු විත්ති කූඩුවේ සිට පැවසීය.
පසුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණි. රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වීය.
1085 Views
Comments