"පීඩනය ඉහවහා ගිහින් ජනතාව අපට ශාප කරනවා" - පොහොට්ටු මන්ත්‍රී ලලිත් එල්ලාවල
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

"පීඩනය ඉහවහා ගිහින් ජනතාව අපට ශාප කරනවා" - පොහොට්ටු මන්ත්‍රී ලලිත් එල්ලාවල

"පීඩනය ඉහවහා ගිහින් ජනතාව අපට ශාප කරනවා" - පොහොට්ටු මන්ත්‍රී ලලිත් එල්ලාවල

මීට වසර 2කට පෙරදී ජනතාව අපිව තුනෙන් දෙකක අතිවිශාල බලයක් දීලා පත් කළේ මේ වගේ දුක් විඳින්න නොවේ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ආසන්නයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය.

 

ඒ මහතා එසේ පැවැසුවේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය. 

 

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

 

"අද වනවිට ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින්. මහපාරෙ අව්වට වැස්සට තෙමි, තෙමී බලන බලන තැන ඉන්ධන පෝලිම්, ගෑස් වගේම බෙහෙත් පෝලිම්. ඒ අර්බුදවලින් ගොඩ එන්න වැඩපිළිවෙළක් හදනවා මිසක් විපක්ෂයේ කාලේ වෙච්ච දේවල් හින්දා තමයි මේ පෝලිම්, අර්බුද කියලා කිය කියා ඉඳලා වැඩක් නැහැ.

 

විපක්ෂය බලය ඉන්න කාලේ සිදුකළ දේවල් හින්දයි මේ වගේ වෙලා තියෙන්නේ අපේ ම ඇතැමුන් කටමැත ‍දොඩවනවා. විපක්ෂය කාලේ ඒ අර්බුද සියල්ල ම අපි නොදැන හිටිය නොවෙයි. ඒවා නැති කරන්න තමයි ජනතාව අපිව පත්කළේ. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැජ් එක වාහනයේ ගහගෙන යන්න බැරි තරම් අද ලැජ්ජා තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේක මෙතැනින් එහාට අපිටත් දරන්න බැහැ. 

 

225ට ම එක විදිහට තමයි ජනතාව බනින්නේ. ජනතාවගේ පීඩනය එතැනින් තමයි යවන්නේ, 225න් අවංක මන්ත්‍රීවරුන් මෙතැන ඉන්නවා. මෙහෙම ගියොත් අවංක මන්ත්‍රීවරුන්ගේ ත් කටවල් ඇරෙයි.

 

ජනතාව එදා ජනාධිපතිතුමා පත් කරගන්නකොට දහසක් බලාපොරොත්තු තියා ගත්තා. ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරිනම් තමුන්නාන්සේලා දීපු ජනවරමින් අපි මෙතැන ඉඳලා තේරුමකුත් නැහැ. 

 

අපේ මවුපියන්ට අපේ දරුවන්ට පවා මිනිස්සු සාප කරනවා. මමත් නෝනත් ඒ දරුවෝ කිහිපදෙනෙක් ඉඳගෙන ඊයේ පෙරේදා ප්‍රවෘත්ති බල බල තමයි බත් කෑවේ. ජනතාව කියනවා මේ 225ට ම හෙණ ගහන්න ඕන කියලා. එතකොට අපේ නෝනට එකපාරට කියවුණා මේ අපිට ත් එක්ක නේද කියන්නේ කියලා. අපේ දරුවෝ අපිට කියනවා මේ වගෙන් අයින් වෙලා නිකං ඉමු කියලා. ඒ තැනට අද පත්වෙලා තියෙනවා.

 

ඒ නිසා ඉතා ඉක්මනින් මේවා නිවැරදි කරගෙන ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීම වගකිව යුතු රජයක් හැටියට ප්‍රමාද නොවී ඉතා කඩිනමින් කළ යුතු යැයි මගේ අදහසයි."

views

852 Views

Comments

arrow-up