පාද අහිමි ආබාධිත හමුදා සෙබළා මරා සිරුර වගුරු බිමක දමා ගිහින් - ඝාතකයින් සොයා පරීක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
16

පාද අහිමි ආබාධිත හමුදා සෙබළා මරා සිරුර වගුරු බිමක දමා ගිහින් - ඝාතකයින් සොයා පරීක්ෂණ

පාද අහිමි ආබාධිත හමුදා සෙබළා මරා සිරුර වගුරු බිමක දමා ගිහින් - ඝාතකයින් සොයා පරීක්ෂණ

පාද දෙකම අහිමි ආබාධිත සෙබළෙකු ඝාතනය කර මළ සිරුර හොරවල තොටුපොළ ආසන්නයේ වගුරු බිමක දමා ගොස් තිබියදී ඊයේ(15) සොයාගත් බව ඉත්තෑපාන පොලිසිය පවසයි.

 

ඉත්තෑපාන, කරපාගල, යගිරල පදිංචිව සිටි පින්වත්ත ලියනගේ ජනක නැමැති 44 හැවිරිදි තිදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබිණ.

 

යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ සිටියදී ත්‍රස්ත ප‍්‍රහාරයකින් සෙබළාගේ පාද දෙකම අහිමි වී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා පැදවූ බව කියන ති‍්‍රරෝද රථය මළ සිරුර තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් ඈතින් තිබී ඉත්තෑපාන මීගම පාලම මත තිබී පොලිසිය සොයාගෙන ඇත.

 

මෙම සෙබළා ඇවිදීමට භාවිතා කරනු ලැබූ ආධාරකද ති‍්‍රරෝද රථයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ති‍්‍රරෝද රථය සොයා ගන්නා අවස්ථාවේදී එහි වැසි ආවරණද පහතට හෙළා තිබූ බව පොලිසිය කියයි.

 

පසුගිය 13 වැනිදා සවස හතරයි තිහට පමණ ත‍්‍රිරෝදයේ නැගී නිවසින් පිටවූ සැමියා යළි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ පෙරේදා(14) ඉත්තෑපාන පොලිසියට කල පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී ප‍්‍රථමයෙන්(14) වෙනි දින ඔහුගේ ති‍්‍රරෝද රථය හමුවූ බව පොලිසිය පවසයි.

 

තම සැමියාට තනිවම ගමන් කිරීමට නොහැකි බව ඔහුගේ බිරිඳ පොලිසියට පවසා තිබේ.

 

සෙබළාගේ මළසිරුර මීගම පාලමෙන් ගඟට වැටෙන්නට ඇතැයි සැක පළකල ප‍්‍රදේශවාසීන් පොලිසිය සහ නාවික හමුදා කිමිදුම්කරුවන්ද සමඟ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියදී හොරවල තොටුපල ආසන්නයේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට සෙබළාගේ මළ සිරුර දැකගැනීමට හැකිවී ඇත.

 

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. 

 

පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

views

1007 Views

Comments

arrow-up