උසස් පෙළ සිසුන්ගේ අනාගතය Z අගය මත තීරණය වීමට ඉඩනොදිය යුතුයි - ජනපති

උසස් පෙළ විභාගයෙන් සිසුන් ලබාගන්නා Z අගය මත පමණක් සිසුන්ගේ අනාගතය තීරණය වීමට ඉඩනොදී ඔවුන්ගේ දක්ෂතා මත අනාගතය තීරණය කිරීමට ඉඩ දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවෙ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක්වු අතර විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැම්ම මෙහිදි සිදුකෙරුණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, “අපගේ විශ්වවිද්‍යාල ධාරිතාව පුළුල්වීමත් සමගම විශ්වවිද්‍යාල සම්පත් සීමාව මත නීර්ණය කරනු ලබන විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය වෙනස්විය යුතු වනවා. “සෞභාග්‍යයේ දැක්ම” අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි යටිතල පහසුකම්, තාක්ෂණය සහ මානව සම්පත් ප්‍රවර්ධනය අරමුණු කරගනු ලැබූ ආයෝජන මගින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධාරිතාව ඉහළ දැමීම මගේ රජයේ වැදගත් ඉලක්කයක්. විශ්වවිද්‍යාල පහසුකම් පුළුල් කිරීම මගින් විශාල සිසුන් සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනවා. උසස් පෙළ විභාගයෙන් සිසුන් ලබාගන්නා ඉසෙඩ් අගය මත පමණක් සිසුන්ගේ අනාගතය තීරණය වීමට ඉඩනොදී ඔවුන්ගේ දක්ෂතා මත එය කළ යුතු වනවා,” වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති තුමා , ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කෙටි කාලයක් තුළ ඉහළ සුදුසුකම් සපුරන පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළේය.
වෛද්‍ය, ඉංජිනේරු, නීති වැනි විෂය ක්ෂේත්‍රවල විශිෂ්ටයන් බිහිකිරීමට සමත්වීම විශ්ව විද්‍යාලයේ ව්‍යාප්තියට හේතු වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.
වත්මන් ගැටළුවලට විසඳුම් සෙවිමේ දී පෞද්ගලික අංශයට රාජ්‍ය විශ්ව විද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථා තිබිය යුතුය. උපාධිධාරීන්ට නව තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් තිබිය යුතුය.
අවම වශයෙන් පරිගණක හැසිරවීම සඳහා අවශ්‍ය විෂය දැනුම තිබීම සාර්ථක අනාගතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කරයි. අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවත් සියලු සිසුන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හඳුන්වා දෙන ලෙස සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටී.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරා ගැනෙන සිසුන් සියල්ලෝම බුද්ධිමත් ය.
ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට තමන් කැමති විෂයක් තෝරාගැනීමේ ඌණතාවයක් පවතින්නේ නම් එය සිසුන්ගේ නොව අධ්‍යාපන පද්ධතියේ පවතින අඩුපාඩුවකි.
විශ්වවිද්‍යාල මට්ටමට ළඟා වූ පසු තමන් සතුව ඇති නිපුණතා අත්පත් කර ගැනීමට සියලු සිසුන්ට පහසුකම් හා ඉඩ ප්‍රස්තා සැලසිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.
පර්යේෂණ හා සංවර්ධන කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම්වලට හිතකර ලෙස බලපානු ඇත.
ඉහළ සමත්කම් ඇති පිරිස් ආකර්ශනය කර ගැනීමටත්, රඳවා ගැනීමටත් විශ්වවිද්‍යාල එකිනෙක සමග තරග කළ යුතුය. එය පිඨ හෝ කාර්ය මණ්ඩලයට සීමා නොකොට ශිෂ්‍යයන්ට ද විවෘත විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.
සෑම විශ්වවිද්‍යාලයකම පාලක මණ්ඩලයට, උප කුලපතිට, පීඨ සහ කාර්ය මණ්ඩලවලට ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන් තීරණය කිරීමට, සැලසුම් කිරීමට හා කළමනාකරණයට අවශ්‍ය නිදහස තිබිය යුතු ය.
එමෙන්ම ඔවුන්ට තම ආයතන තුළ ඉගෙනීමට සුදුසු ශෂ්‍යයින් තෝරාගැනීමට ද නිදහස තිබිය යුතු යැයි ජනාධිපතිතුමා පවසයි.
සියලු දෙනා එක්ව කැප වුවහොත් ලෝකය වේගවත් වෙනස්කම් වලට භාජනය වුවද අපේ විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් තරගකාරී ආයතන බවට පත්කර ගත හැකි බවත්, ඉන් තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය සලසමින් රටේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි බවත් ජනාධිපතිතුමා කියා සිටි.
1343 Views
Comments