අසරණ පවුලකට ලැබුණු නිවස කාන්තාවක් මෙහෙයවන මැරයන් විසින් බිමට සමතලා කර නිවස ගළවා තහඩුත් ගෙන ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

අසරණ පවුලකට ලැබුණු නිවස කාන්තාවක් මෙහෙයවන මැරයන් විසින් බිමට සමතලා කර නිවස ගළවා තහඩුත් ගෙන ගිහින්

අසරණ පවුලකට ලැබුණු නිවස කාන්තාවක් මෙහෙයවන මැරයන් විසින් බිමට සමතලා කර නිවස ගළවා තහඩුත් ගෙන ගිහින්

 ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමඟ ආරක්ෂක අංශ එක්ව අනුරාධපුර, සාලියපුර ප‍්‍රදේශයේ අසරණ පවුලකට ඉදිකරදුන් නිවසක්, මැර පිරිසක් එක්ව ඊයේ(08) උදෑසන කඩා බිමට සමතලා කර එහි තිබූ ගොඩනැඟිලි ද්‍රව්‍ය ට‍්‍රැක්ටරයකින් රැගෙන ගොස් තිබේ.


 
 මෙම මැර කණ්ඩායම පිළිබඳව අදාල අංශවෙත ලිඛිතව දන්වා ඇතත්, මැර පිරිසට අවශ්‍ය අන්දමින් කටයුතු කිරීමට ඉඩදී සියලූම රාජ්‍ය නිලධාරින් නිහඬව සිටිනා බව ගම්වැසියෝ පවසති.


 
 දැනට අසරණ වී සිටින පවුල අනුරාධපුර පොළ පාර, කුම්බිච්චන්කුලම නව නගරය ලිපිනයේ පදිංචිව සිට ඇති අතර රජයේ අවශ්‍යතාවක් මත ඉවත් කළ ඔවුන්ට 2005 පෙබරවාරි මස අංක 193 තෙප්පන්කුලම, සාලියපුර, අනුරාධපුර පිහිටි ඉඩම ලබාදී තිබේ. 

 

ප‍්‍රදේශයේ තවත් පිරිසක් සමඟ එකතු වී ප‍්‍රචණ්ඩව හැසිරෙන කාන්තාවක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අනුරාධපුර මූලස්ථාන පොලිසියට අගතියටපත් පාර්ශ්ව පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එම පැමිණිලි විභාග කිරීම නිසි අන්දමින් සිදු නොකර, පැමිණිලි පාර්ශ්වය අත්අඩංගුවට ගන්නා බවට ඉහළ නිලධාරින් පොලිසිය තුළදී අවස්ථා කිහිපයකදීම තර්ජනය කළ බව නිවස හිමි එක්දරු මව පැවසීය. 

 

අසරණ වී සිටින මෙම පවුලේ සාමාජිකයන්හට ස්ථිර රැකියාවක් හෝ නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක බළකාය සිය ශ‍්‍රමදායකත්වය ලබා දෙමින් ව්‍යාපාරිකයන් පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් නිවස ඉදිකරදී තිබේ.

 

 දින කිහිපයකට ඉහතදී නිවසේ හිමිකාරිය වන කාන්තාවට අයත් ඇයගේ රෙදිපිළි, දරුවාගේ පාසල් පොත් පත් ඇතුළු සියලූම බඩු බාහිරාදිය කොල්ලකරුවන් පිරිසක් යොදවා කොල්ලකා රතු පැහැති ට‍්‍රැක්ටරයකින් ගෙන ගොස් තිබේ.

 

 විදුලිය, නළ ජලය පිහිටි නිවස කිසිවකුගේ උපදෙස් මත එක්වී පිරිසක් යොදවා ඊයේ (08) දිනයේ බිමට සමතලා කිරීම සිදුකොට ඇත.


 
 මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට, පොලිස් හදිසි ඇමතුම් අංශයට, අගතියට පත් පිරිස අප ඉදිරියේදීම ඇමතුම් ලබා දුන්නත් ඔවුන් එහි පැමිණ නැත. 

 

කොල්ලකෑම, නිවස විනාශ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළත් ඊට කිසිදු ක්‍්‍රියා මාර්ගයක් නොගනිමින් ඇතැමෙකුට අවශ්‍ය ආකාරයට පොලිසිය කටයුතු කරන බව ගම්මුන් චෝදනා කළහ. 

 

නිවසේ උළුවහු, දොර ජනෙල් හා සෙවිලි තහඩු සියල්ලම ගැලවීමෙන් පසුව රතු පැහැති ට‍්‍රැක්ටරයකින් සාලියපුර හතරේ ඇළ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කළ ආකාරය ඡායාරූපවලින් දැක්වේ. 

views

1885 Views

Comments

arrow-up