ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතද ?

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතද ?

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද ? යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමේදී අපි මුලින්ම දැන ගත යුතු කරුණු දෙකක් තියෙනවා.

 

1. මෙම ඩෙල්ටා ප්‍රභේදය ලෝකය පුරා විද්වතුන් තුළ කැළඹීමක් ඇති කරන්නට හේතු වෙන්නේ ඇයි? 

 

මින් පෙර වාර්තා වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද ?

 

 

2. එන්නත්කරණය මගින් කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලබාදෙන්නේ කෙලෙසද? එන්නත්කරණය සම්පූර්ණ කළ කෙනෙක් කෝවිඩ් වෛරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද ? 

 

ඩෙල්ටා ප්‍රභේදයට කොව්ඩ් එන්නත් වලින් ලබාදෙන ආරක්ෂාව කෙබඳු ද?

 

ප්‍රථම කාරණය ගත්තොත් මේ ප්‍රභේදය මෙයට පෙර සොයාගත් කොවිඩ් වෛරස ප්‍රභේදවලට වඩා සුවිශේෂ වීමට කාරණා දෙකක් බලපානවා. මේ දක්වා කරන ලද පරීක්ෂණ වලින් පැහැදිලිව පෙනෙන කරුණක් තමයි මේ ප්‍රභේදය මෙයට පෙර සොයාගන්නා ලද ප්‍රභේදවලට වඩා ඉතා වේගයෙන් පැතිර යන බව.

 

පසුගිය අලු‍ත් අවුරුදු සමයෙන් පසුව රට පුරා වේගයෙන් පැතිර ගිය ඇල්ෆා ප්‍රභේදය ටත් වඩා මේ කියන ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම වේගවත්. මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය යම් රටකින් වාර්තා වී සාපේක්ෂව කෙටි කාලයක් තුළ එම රට තුළ දක්නට ලැබෙන ප්‍රධානම ප්‍රභේදය බවට පත්වන වෙන අවස්ථා අප බොහොමයක් දැක තිබෙනවා. එමෙන්ම මෙය නුදුරේම ලොව ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන කොවිඩ් වෛරස ප්‍රභේදය වනු ඇති බවට විද්වතුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇත.


අනෙක් කාරණය තමයි මෙම ඩෙල්ටා ප්‍රභේදය නිසා රෝග ලක්ෂණ උත්සන්න වීමට ඇති හැකියාව වැඩි බවට සාක්ෂි මතු වෙමින් පැවතීම. මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය බහුල රටවල් වල කෝවිඩ් රෝගීන්ට රෝහල් ප්‍රතිකාර, ඔක්සිජන් සහ දැඩි සත්කාර අවශ්‍ය වීම අනෙක් රටවලට වඩා බහුල වනු ඇතැයි සිතිය හැකියි.

 

එන්නතක් මගින් සිදු වන්නේ කුමක්ද?

 

එන්නතක් මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ යම් රෝගකාරකයකට එරෙහිව අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිය තීව්‍ර කිරීමක් කියලා කියන්න පුළුවන්.

කෝවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය තුළින් අප විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බරපතළ රෝග තත්ත්වයක් ඇති නොවී කොවිඩ් රෝගය මැඩ පවත්වා ගැනීමට ශරීරය සූදානම් කිරීමයි. වාසනාවකට වගේ, එන්නත්කරණය සම්පූර්ණ කරන ලද අය ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවද ඉහල ආරක්ෂාවක් ලබාගන්නා බවට දැනට ලැබෙමින් තියන පර්යේෂණ සාක්ෂි මගින් පෙනී යනවා. 

කෙසේ වුවත් තවමත් සාපේක්ෂව මුල් අවස්ථාවල පවතින මේ බොහෝ සාක්ෂි පදනම් වෙන්නේ, දැනට ඩෙල්ටා රෝගය සැලකිය යුතු ලෙසට පැතිර ගිය රටවල නිරීක්ෂණ මත හා ඒ රටවල දැනට ලබාදී ඇති එන්නත් වර්ග වලට සාපේක්ෂව යි. ඉදිරියේදී අපට මේ පිළිබඳ වඩ වඩාත් පැහැදිලි සාක්ෂි දක්නට ලැබේවි. 

එන්නත්කරණය මගින් ෘැකඒ ප්‍රභේදයට එරෙහිවද ඉතා ඉහල ආරක්ෂාවක් සැපයීම අප බොහෝ දෙනාගේ අස්වැසිල්ලට කාරණාවක් වුවද, මෙහිදී අප සිහි තබා ගත යුතු ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා.

වැදගත්ම කාරණය වන්නේ එන්නත්කරනය සම්පූර්ණ කළ අයෙකුට වුව ද කොරෝනා රෝගය ආසාදනය වීමට සැලකිය යුතු ඉඩකඩක් තිබීමයි. එවැනි අය හරහා තවත් බොහෝ දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට අවස්ථාවක් තිබෙනවා. ජනගහනයෙන් ඉතා ඉහල ප්‍රතිශතයක් එන්නත් ලබා ඇති රටවල පවා ඩෙල්ටා ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය වැඩි වීමක් නිරීක්ෂණය වී ඇත. මෙහි සුබදායි තත්ත්වය වනුයේ මෙම රටවල රෝගීන් වාර්තා වීම වැඩි වුවද දරුණු කෝවිඩ් තත්ත්ව සහ මරණ ඇති වීම ඉතා විශාල ලෙස එන්නත්කරණය සමගම අඩු වී ගොස් තිබීමයි.

එන්නත්කරණය නිසා රෝගය උත්සන්න වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහෝදුරට අවම වුනත් එය 100%කින් සිදුවන්නේ නෑ.

ඒ නිසා ඇතැම් අයට එන්නතක් සම්පූර්ණයෙන් ලබා තිබියදීත් රෝගය වැළ​දෙන්න වගේම අසාධ්‍ය වෙන්නත් ඉඩ තියෙනවා. එන්නත යනු කොවිඩ් පැරදවීමට කරන සටනේ දී අප සතුව ඇති බලවත් ම අවියක් වුවත් එය ලබාගනීමෙන් පසුවත් දිගින් දිගටම නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වන්නේ මේ නිසා යි.

එන්නත්කරනය වගේම සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීම නිසා පවතින තත්ත්වය පාලනයකට ලක් කර ගැනීමට හැකි වුවහොත්, ඒ කාලයට උචිත ලෙස වසංගත පාලන විධිවිධාන ලිහිල් කිරීමක් දකින්නට පුළුවන් වේවි.

මෙය රඳා පවතින්නේ අපගේ වගකීම්සගත හැසිරීම මතයි. ඉදිරියේදී තව දුරටත් පුළුල් වීමට නියමිත
එන්නත්කරණ ක්‍රියාවලියට, සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන පුරවැසි අපගේ සහයෝගයත් එක්වුවහොත් නව සාමාන්‍ය ජීවන රටාවට අනුගතව රටක් ලෙස ඉදිරියට යන්න අපට හැකිවනු නොඅනුමානයි.

views

842 Views

Comments

arrow-up