රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
06

රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ගුවන් විදුලි ප්‍රහසන කලාවේ පුරෝගාමියෙකු වූ බෙස්තියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක නැතිනම් අප කවුරුත් දන්නා බර්ටි ගුණතිලක වයස අවුරුදු 97 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

 

ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇති.

 

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ශ්‍රී ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කලාකරුවෙක්.

 

80 දශකයේ ගුවන් විදුලියේ, රූපවාහිනියේ හා ප්‍රසංග වේදිකාවේ දී ඇසීමට හා දැකීමට බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු එකතුව එකල වේදිකාගත වූ විනෝ ද සමය විකට වැඩසටහන මතකයට ගෙන එන කථා පුවතක් වනවා.

 

ශ්‍රී ලාංකේය සිනමාවේ වේදිකාවේ සහ රූපවාහිනියේ විකට ශිල්පියෙකු වූ බර්ටි වඩාත්ම ජනප්‍රිය වූයේ විනෝද සමය විකට කථා මාලාවෙන්.

 

මහනුවර ප්‍රදේශයේ උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කර තිබුණා.

 

ඉන්පසු සිංහල බෞද්ධයා පත්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර ඇති අතර 1954 වසරේ ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වුණා.

 

පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වී රංගන දායකත්වය ලබාදුන්නා.

 

1947 වසරේ ළමා පිටිය වැඩසටහනෙන් ගුවන් විදුලියට එක්වූ බර්ටි ගුණතිලක විනෝද සමය ගුවන් විදුලි නාට්‍යයට එක්වූයේ 1948 වසරේදියි.

 

1954 දී ඔහු සිය සමීප මිතුරන් වූ ඇනෙස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගූ සමග එක්ව ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කළා.

 

2014 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූ  බර්ටි ගුණතිලක පෙම් මල් මාලා, පාලම යට, මනමෝහිනී, සොමි බෝයිස් වැනි සිනමා නිර්මාණ මගින් රිදී තිරයේ පෙළහර පෑමට ද සමත්වුණා.

 

පසුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වූ ඔහුට රැකියාව අහිමිවූයේ වෘත්තිය අරගල හේතුවෙන්.

views

713 Views

Comments

arrow-up