ශ්‍රී ලංකා හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටුවයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

ශ්‍රී ලංකා හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටුවයි (PHOTOS)

ශ්‍රී ලංකා හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටුවයි (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා හමුදාව අද කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටුවා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

 

ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.‍

 

 

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය යටතේ නාගරික අලංකරණය, පැළ රෝපණය කිරීම, වැව් ප්‍රතිසංස්කරණය, ව්‍යායාම මංතීරු ඉදිකිරීම, පොදු පහසුකම් සංවර්ධනය, මාර්ග ඉදිකිරීම ඇතුළු විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හමුදාවේ හැකියාවන් විදහා දක්වමින් ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයට නව බලකායන් ස්ථාපිත කිරීමේ අභිලාෂය පෙරදැරීව මහඟු මෙහෙවරක් ඉටුකරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කිරීම සඳහා වූ ලේඛණයට අත්සන් තැබීය.

 

 

ඉන් අනතුරුව, 'තුරු මිතුරු නව රටක්' ව්‍යාපෘතිය යටතේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති කෘෂිකාර්මික ව්‍යාපෘති මාලාව ඇතුළත් පොතේ පිටපත් මේජර් ජෙනරල් කඳනආරච්චි විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සමභාවනීය ආරාධිතයින් වෙත මෙහිදි පිළිගැන්විණි.

 

 

මෙහිදි සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් මෙම බලකාය ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා සහය දක්වන ගමනේදී, තවත් අභියෝගයක් ලෙස හමුදාවට සිය බහුවිධ හැකියාවන් විදහා දැක්වීමේ සහ සියලු ගොවිජන පාර්ශවකරුවන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමේ ආකර්ෂණීය කීර්තිය ද අත්කරගැනීමට ත්‍රිවිධ හමුදාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම කටයුතු භාරදී ඇති බව පැවසීය.

 

 

නව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කිරීම තුළින් කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, ශිතාගාර පහසුකම් ඇති කිරිම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය දියුණු කිරීම, ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුලිකත්වයෙන් ගොවිජන අංශ තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා උපරිම සහාය ලබාදීමට අපේක‍්ෂා කෙරේ.

 

 

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය යුද්ධ හමුදාව සතු භූමි ප්‍රමාණයන් ප්‍රයෝජනයට ගනිමින් නවීන තාක්‍ෂණය හා දැනුම උපයෝගි කරගනිමින් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීමට කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලම්කුලම්, ගල්කන්ද, පලටුපාන, ආඩ්යාපුලියන්කුලම්, බලල්ල සහ නිරාවිය යන ප්‍රදේශයන්හි යුද්ධ හමුදා ගොවිපලවල් ස්ථාපිත කර ඇත.

 

 

මේ වනවිට භටපිරිස් තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ සහල් නිෂ්පාදන, අක්කර 1,000 කින් යුත් පොල් වගා, අක්කර 500 කින් යුත් TEJC අඹ වගා, අක්කර 2000 කජු වගා, අක්කර 200 කින් යුත් මිරිස් වගා, ගව පාලනය (ජිවානුහරිත කල්කිරි, යෝගට්, මුදවාපු මිකිරි), ලේයර් සතුන් 100,000 කින් යුතු බිත්තර නිෂ්පාදන, දේශිය කැලෑ සලාක මළු නිෂ්පාදනය, ලුණු නිෂ්පාදන, තක්කාලි සෝස් නිෂ්පාදන, කොම්පෝස්ට් නිෂ්පාදනය සහ කහ පැළ 100,000 වගා කිරීම ආදී ව්‍යාපෘතින් රැසක් යුද්ධ හමුදා ගොවිපලවල් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇත.

 

නව බලකාය ස්ථාපිත කිරීමේ අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

 

views

961 Views

Comments

arrow-up