අල්ලස් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු දෙදෙනා නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලබා සිටි අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද(27) නිදහස් කළේය.
අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍රය අල්ලස් කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන්කර නොමැති බැවින් යළි නඩු පැවරීමේ අයිතිය තබා ගනිමින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තුෂාරි ජයරත්න මහත්මිය කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර ලබාදුන්නේය.
ශ්‍රී ලංකා මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දුන් බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද එම අල්ලස් මුදල් ලබාගත් බවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාටද එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් මූලික විරෝධතාවයක් මතුකරමින් තම සේවාදායකයන්ට එරෙහිව චෝදනා පත්‍රයට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් සියල්ලම අත්සන්තබා නොමැති බැවින් මෙම චෝදනා පත්‍රය වලංගු චෝදනා පත්‍රයක් නොවන බවට තර්කයක් ඉදිරිපත් කරනලදී.
ඒ අනුව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට විරෝධතාවයක් මතු කල නීතිඥවරු තම සේවාදායකයන් නිදහස් කරන ලෙසට ඉල්ලීමක් කලෝය.
848 Views
Comments