තාත්තාගෙන් ලක්ෂ ගණනක කප්පම් ගන්න පෙම්වතා එක්ක ගේම් ගැසූ හෙද දියණිය මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

තාත්තාගෙන් ලක්ෂ ගණනක කප්පම් ගන්න පෙම්වතා එක්ක ගේම් ගැසූ හෙද දියණිය මාට්ටු

තාත්තාගෙන් ලක්ෂ ගණනක කප්පම් ගන්න පෙම්වතා එක්ක ගේම් ගැසූ හෙද දියණිය මාට්ටු

කිසියම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සිර කර ගෙන සිටින බවට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සූක්ෂම ලෙස තම පියාගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ගෙන, එම මුදල තම පෙම්වතාට ලබා දීමට ගිය දියණියක සහ එය සැලසුම් කළ ඇගේ පෙම්වතා පෙරේදා (28) පොලිස් භාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

 

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අනුරාධපුර හෙද විදුහලේ දැනට පාඨමාලාවක් හදාරන මැදවච්චිය ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක සහ ඇගේ පෙම්වතා වන හෙද පාඨමාලාව අවසන් කළ අනුරාධපුර නගරයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

 

සැකකාර පෙම්වතාගේ මව විසින් ලබා දෙන ලද ලක්ෂ 15ක මුදලකින්, එප්පාවල ප‍්‍රදේශයේ පොල් ඉඩමක් මිලදී ගැනීමට සූදානම්ව, එම ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ දී ඔහු ජාවාරම්කරුවකුට රැවටී ලක්ෂ 15ක මුදල ලබා දී නිධානයකින් ලබා ගත් රත්තරන් යැයි කියා, රන් පැහැ ගැන්වූ ව්‍යාජ යකඩ කැබලි තොගයක් මිලදී ගෙන ඇතැයි ද පොලිසිය කියයි.

 

ජාවාරම්කරුවන්ට ලබා දුන් රුපියල් ලක්ෂ 15ක මුදල කෙසේ හෝ සොයා ගැනීමට මෙම පෙම් යුවළ සැලසුම් කරමින් සිටියදී, මෙම සැලසුම ක‍්‍රියාත්මක කර ඇත. සිසුවිය තම නිවසින් පිටව ගොස් සැඟවී තිබෙන අතර ඉන් පසුව පෙම්වතා විසින්, ඇගේ පියාගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇත. ඒ මුදල් ලබා නොදුනහොත් දියණිය මරා දමන බවට ද ප‍්‍රකාශ කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

 

බියට පත් වූ එම හෙද සිසුවියගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, පසුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් කණ්ඩායමක් වහා ක‍්‍රියාත්මක වී දීර්ඝ ලෙස කරුණු විමර්ශනයක් සිදු කර, කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සැඟවී සිටි මෙම හෙද සිසුවිය සහ ඇගේ හෙද පෙම්වතා තම භාරයට ගෙන තිබේ.

 

ඉන් අනතුරුව සිදු කළ ප‍්‍රශ්න කිරීම්වල දී නැති වූ ලක්ෂ 15 ක මුදල කෙසේ හෝ ලබා ගැනීමට දෙදෙනා විසින් සැලසුම් කර මෙම ව්‍යාජ රංගනය සිදු කර ඇති බව ප‍්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

 

පසුව පොලිසිය, මෙම හෙද සිසුවියගේ සහ පාඨමාලාව අවසන් හෙද සිසුවාගේ දෙමව්පියන් පොලිස් ස්ථානයට කැඳවා තිබූ අතර එහිදී දෙපාර්ශ්වයේ දෙමාපියන් විසින් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ගැන සිතා මෙය, සමථයකට පත් කර දෙන ලෙස පොලිසියෙන් දැඩි ලෙස ඉල්ලීම් සිදු කර ඇත. ඒ අනුව ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පොලිසිය භාරයේ සිටි ඔවුන් දෙදෙනා මුදා හැර තිබුණි.

views

858 Views

Comments

arrow-up