මැඩගස්කරයේදී ඇල්ලූ පාතාලේ හරක් කටා ලංකාවට ගෙන ඒමේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

මැඩගස්කරයේදී ඇල්ලූ පාතාලේ හරක් කටා ලංකාවට ගෙන ඒමේ සූදානමක්

මැඩගස්කරයේදී ඇල්ලූ පාතාලේ හරක් කටා ලංකාවට ගෙන ඒමේ සූදානමක්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක හෙවත් "හරක් කටා" සහ පාතාල කල්ලි නායකයෙකු වන සලිඳු මල්ෂික ඇතුළු පිරිසක් මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

"හරක් කටාගේ" බිරිඳ බව කියන මැඩගස්කර කාන්තාවක්, ඔවුන්ගේ දරුවා  සහ ඇයගේ පියාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සතුව තිබී එරට මුදල් මිලියන තිස් දෙකක් ද තිබී සොයාගෙන තිබේ.

 

දැනට ලැබී අැති තොරතුරු අනුව පුද්ගලයන් 10 දෙනෙක් මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය. 

 

මෙරට අධිකරණ මගින් ලබාගත් නියෝග හා පොලිස් වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර පොලීසිය මඟින් "හරක් කටා" සහ "කුඩු සලිඳු" ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම් සහ ආවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත්කර තිබුණි.

 

හරක් කටා හා කුඩු සලිඳු ඇතුළු 8 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වනදා මැඩගස්කර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇතැයි මැඩගස්කර වෙබ් අඩවියක් වාර්තාකර තිබුණ අතර පසුදින පිරිස එරට අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළට පැමිණ තිබේ. 

 

මාර්තු 01 වනදා ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එරටට ඇතුළු වී ඇත්තේ ව්‍යාපාරික සංචාරයක නිරත වන ලෙසිනි. අත්අඩංගුවට ගන්නා විට "හරක් කටා" පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසින් බව අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. 

 

සලිඳු මල්ෂික හෙවත් "කුඩු සලිඳු" ඇතුළු සෙසු පිරිස හරක් කටාගේ සහායකයින් මෙන්ම ආරක්ෂකයින් ලෙස පෙනී සිට තිබෙන අතර අදාළ වාර්තාවලට අනුව "හරක් කටා" ඩුබායි, මලයාසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරය යන රටවල මත්කුඩු බෙදා හරින බව දැක්වෙයි.

 

මැඩගස්කරයේ මෙරට තානාපති කාර්යාලයක් නොමැති හෙයින් සීෂෙල්ස්හී පිහිටි මෙරට තානාපති කාර්යාලය හරහා "හරක් කටා" ඇතුළු පිරිස මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව අප කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනගන්නට ලැබුණි.

 

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ  අදාළ තොරතුරු නිල වශයෙන් ලද විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේදී සැකකරුවන් මෙරටට රැගනෙ ඒම සඳහා මැඩගස්කරය බලා යාමට නියමිත බවයි.

 

"හරක් කටාගේ" සැබෑ නම නදුන් චින්තක වූවත්  එන්. 8692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයේ ඔහුගේ නම සඳහන්ව තිබුණේ හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක ලෙසය.

 

මෙරට ආරක්ෂක අංශ විසින් "හරක් කටාව" මෙරටට ගෙන්වා ගැනීමට නිසි පියවර නොගත් නිසා  ඩුබායි පොලිසිය ඔහුව ඔක්තෝබර් 03 වනදා නිදහස්කර තිබුණි.

views

244 Views

Comments

arrow-up