දරුවාට බෙහෙත් ගැනීමට යන මුවාවෙන් කුඩු ඇද්ද අඹු සැමි යුවළ මාට්ටු

වයස අවුරුදු 5ක් පමණ වන තම සිඟිති දියණියට බෙහෙත් ලබා ගැනීමට යන මුවාවෙන් මත්කුඩු රැගෙන යමින් සිටි අඹු සැමි යුවලක් ඊයේ (10) රාත්‍රියේ දී මහනුවර දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් නුවර වැව රවුම අසලදී අත්අඩංගුවට ගෙන තිබුණා.
සංචරණ සීමා පනවා ඇති මෙම කාල සීමාව තුළ මාර්ග බාධක අසලදී පොලිසිය විසින් ඔවුන් ගමන්ගත් පොටර් රථය නතර කරන ලෙස දන්වා ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ තම දියණියට ප්‍රතිකාර කිරීම සඳහා ඇයව රෝහලට රැගෙන යන බවයි.
එහිදී පොලීසිය විසින් රථය පරීක්ෂා නොකර යාමට අවස්ථාව ලබා දී ඇති අතර මෙම යුවල මත් කුඩු බෙදාහරින බවට මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට තොරතුරු ලැබීමත් සමග අදාල යුවළ හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබුණා.
මහනුවර දිගන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර යුවළ දොඩම්වල පිහිටි හෝටලයකට මීට දින දහයකට පෙර පැමිණ ඇති අතර හෝටල් හිමියාට පවසා ඇත්තේ කොරෝනා වසංගතයේ නිසා එලෙස පැමිණි බවයි.
අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයාගේ දෙපාමුල තිබූ බෑගයක තමා රුපියල් ලක්ෂ 22ක් වටිනා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් බවට සැක කරන මුදල් තොගයක්ද මත් කුඩු ග්‍රෑම් 5ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
ඊට අමතරව තවත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 68 ක්ද ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබූ අතර අදාල මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවයි තක්සේරු කර තිබුණේ.
34 හැවිරිදි සැකකාරිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සැකකාර අනියම් සැමියා රඳවා ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
- මහනුවර කේ එල් සුරවීර -
1263 Views
Comments