කුඩු වටලන්න ගිය පොලිසියට කාන්තාවන්ගෙන් ගල් ප්‍රහාරයක් - 10 ක් රිමාන්ඩ්

අනුරාධපුර, පුබුදුපුර සමූහ ගොවිපොළ ප්‍රදේශයේ හෙරොයින් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එම ජාවාරමට සම්බන්ධ පවුල්වල පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාරයකින් හිසට තුවාල සිදු වූ පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
එම වැටලීමේදී ලක්ෂ 5කට ආසන්න හෙරොයින් මත්කුඩු සමග පිරිමි පුද්ගලයන් සිවුදෙනකු සහ පොලිසියට පහර දීමට සම්බන්ධ කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් සහ සැකකාරියන් මේ මස 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.
මත්කුඩු තිබී ඇත්තේ පිරිමි පුද්ගලයන් සිවුදෙනා ළඟය. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කාන්තාවන් 6 දෙනා පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ලකර ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අඬන්තේට්ටම් සිදු කිරීම, නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් වීම පොලිස් නිලධාරියකුට ගල් මුල්වලින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කාන්තාවන් හයදෙනා එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා තව දුරටත් නියෝග කළේය.
182 Views
Comments