පෙමට පෙම පුදා එක තැන එකට අවසන් ගමන් ගිය පෙම්වතුන් දෙදෙනා

එකට උපත සිදු නොවූවත් පෙම්වතුන් ගැන අප අසා තිබේ.
විවිධ වූ බැඳීම්වලින් සසර පුරා විත් එකට ජිවත් වී මේ සංසාර ගමනින් එකටම සමුගන්නා අයද සිටිති. එවන් සමුගැනීමක් පසුගිය08 වැනිදා කතරගමින් අසන්නට ලැබුණි.
සුන්දර තරුණ යුවළක් වූ කතරගම වැඩසිටි කන්ද පාරේ ජීවත් වූ මෙම තරුණිය හා තරුණයා විවාහ වී සුළු කාලයක් තුළ යෞවන අවදියේම නික්ම යනු ලැබුවේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි.
වල්ලව විතානගේ රිසිත කුමාර (24) පවුලේ හතර දෙනකු අතරින් දෙවැනි පුතා වේ.
කතරගම අංක 24 වැඩසිටිකන්ද පාරේ පදිංචි තරුණිය කලුදුරුගේ ලක්ෂානි(19) පවුලේ වැඩිමහල් දියණියයි.
ඇය කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ මැණික්පුර ගමේ ව්‍යාපාරික පවුලක තරුණියකි.
විවාහ වී වසර එකහමාරක් වැනි ඉතා පුංචි කාලයක් ගතකළ මේ සුන්දර යුවළ පසුගිය 08 දා රාත්‍රී කතරගම ගලහිටිය ප්‍රදේශයේ සිය ඥාතිවරයකුගේ නිවසට යන ලද්දේ සතියකට සැරයක් පුරුද්දකට යෑම සිරිතක් කර ගත් නිසාවෙනි.
සිය ඥාති නිවසේ සිට තේ පානය කර අවසන් වී ලක්ෂාන් සහ රිසිත තමන් යන්නේ අවසන් ගමන් බව නොදැනී සිය පණමෙන් ආසා කරන යතුරුපැදියේ නැඟ තම ආදරණීය බිරිඳ වූ ලක්ෂානිද පසුපස හිඳවා ගෙන සිය නිවස වෙත ගමන් කරන ලදී.
මේ අතර කතරගම සිට ගලහිටිය මාර්ගයේ තනි ඇසකින් (විදුලි අලෝකය එකක් පමණක්) දැල්වෙන ලොකු ට්‍රැක්ටරයක්ද පැමිණෙමින් තිබුණි.
ඈත සිට එන ට්‍රැක්ටරය යතුරුපැදියක් එනවා මෙන් දිස්විය. රිසිතත් බිරිඳත් ගමන් ගත් යතුරුපැදිය වේගයෙන් ඉදිරියට යන්නට විය.
ඈත එන වාහනය ට්‍රැක්ටරයක් බව රිසිත නොසිතන්නට විය. ඒ එන්නේ ට්‍රැක්ටරයක් නම් මාර්ගයෙන් ඉඩ දී යන්නට හැකි වුවත් විදුලිය කැපීම මත මාර්ගය අන්ධකාරයේ පැවතීමද මෙම යුවළගේ තවත් එක් අවාසනාවක් විය.
රාත්‍රී 8.46 ට ට්‍රැක්ටර් මාරයා කතරගම දෙසට පැමිණි යතුරුපැදියේ මහා හඬක් නංවමින් ගැටුණි.
යතුරුපැදියේ පසුපස පැමිණි ලක්ෂානි වේගයෙන් විසි වී ට්‍රැක්ටරයේ කොටසක සිය හිසවැදී බරපතළ තුවාල ලබා මෙලොව හැර යන ලදී.
යතුරුපැදිය පැදගෙන පැමිණි රිසිතද සිය හිසට සිදු වූ බරපතළ තුවාල මත එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
මෙම බිහිසුණු අනතුරේ නාදය මහා හඬක් ලෙස අවට නිවස තුළ සිටි පිරිස් වෙත ඇසීම නිසා කවුරුත් එළියට බැස විදුලි පන්දම් දල්වා තුවාලකරුවන් සොයා බලන්නට විය.
රිසිත ලේ ගලමින් බිම වැටී සිටි අතර ලක්ෂාන්ගේ හිස දරුණු ලෙස හානි වී තිබුණේ බලන්නන් සිහිසුන් කරවන පරිදිය.
ට්‍රැක්ටරයේ රෝද දෙකද වෙන් වී තිබුණේ අනතුරේ වේගය කියාපාමිනි.
සු`ඵ වේලාවකින් කතරගම පොලිසිය පැමිණ මියගිය තරුණ යුවළගේ සිරුරු රැගෙන යන්නට විය. රිසිතගේ වැඩසිටි කන්ද පාරේ පදිංචි නිවසට සිරුරු රැගෙන විත් අවසන් කටයුතු සූදානම් කෙරිණි.
කතරගම ජාතික පාසලේ ඉගෙනගත් ලක්ෂානි සහ රිසිත ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වූ අතර රිසිත කතරගම වැඩසිටිකන්ද අසළ වෙළෙඳාම් කරමින් ජීවත් විය.
මළගෙදරට පැමිණි කවුරුත් පැවසුවේ ලක්ෂානි සහ රිසිත ඉතාම ආදරයෙන් ජිවත් වූ බවයි. ගමේ කවුරුත් සමග හොඳින් ජිවත් වූ මෙම තරුණ යුවළ ජීවිතය ආරම්භ කළ සැණින් දෙදෙනාම එකම ලෙස මියයෑම ප්‍රදේශවාසී සැමට දරාගත නොහැකි වූ වේදනාවක් බව යුවළගේ අවසන් කටයුතුවලට පැමිණි සැවොම පැවසූ වදනක් විය.
859 Views
Comments