රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..- ජනාධිපති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..- ජනාධිපති කියයි

රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..- ජනාධිපති කියයි

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

 

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. එහෙත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතී. එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකිය. ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බරපතළ හානිය විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

 

ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් ඊයේ (10) අරලිය ගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

 

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී තිබේ. එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු විය. එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතුය. වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරා පත් කරගනු ලැබීය. එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලඊයේය් හැසිරීම කණගාටුවට කරුණකි. මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පැවසීය.

 

වර්තමාන ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම විද්‍යාව හා තාක්ෂණය බලපායි. නව තාක්ෂණ දැනුමෙන් තොරව අනාගත දරු පරපුරට ලෝකය සමග ඉදිරියට යා නොහැකිය. එය හඳුනාගෙන නව තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

 

වර්ෂ 2001දී යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 10 වැනි දින සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ සිට සෑම වසරකදීම එම දිනය සමරයි. මෙවර විද්‍යා දිනය සැමරීමට සමගාමීව විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

 

“National Innovation Mission – හීන වලට පණ දෙන වර්තමානය” මැයෙන් මෙවර විද්‍යා දින සැමරුම සංවිධාන කර තිබිණ.

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ඉලක්ක කොට වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා රට තුළ තාක්ෂණය හා නවෝත්පාදනයේ පිබිදීමක් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) 101වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව රටවල් 132ක් අතරින් 2021 වන විට 95වන ස්ථානයට පත්ව ඇත.

 

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධාන කරන නව නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින්ට “දසිස් සම්මාන” පිරිනැමීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.

 

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නිෂ්පාදිත “ඔක්සිජන් සාන්ද්‍රණ” යන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීම සම්මාන ප්‍රදානයට සමගාමීව සිදු විය.

 

අධ්‍යාපන අමාත්‍යාංශය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව දිවයින පුරා පාසල් 1500ක නවෝත්පාදන විද්‍යාගාර පිහිටුවීමට සැලසුම් කර තිබේ. එය සංකේතවත් කරමින් පළාත් මට්ටමින් තෝරාගත් පාසල් නවයකට චෙක් පත් සහ පාසල් උපකරණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

 

විද්‍යාව මත පදනම්ව නැඟී සිටින රටක් ලෙස විද්‍යාව සෑම පුරවැසියෙකුට අයිතියක් බවට පත්කළ යුතු බවත් එසේ නොවුනහොත් මිත්‍යාව රජ කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

 

නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා නව තාක්ෂණය යොදා ගැනීමෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඇති හැකියාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. ඊ ග්‍රාමසේවා ක්‍රමය, ඩිජිටල් හැඳුනුම්පත වැනි රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.

 

රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, තානාපතිවරු හා විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධය අංශය

views

13430 Views

Comments

arrow-up