මන්ත්‍රී අර්චුනාට නොතිසි ඉල්ලූ පොලිසියේ ඉල්ලීම ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

මන්ත්‍රී අර්චුනාට නොතිසි ඉල්ලූ පොලිසියේ ඉල්ලීම ඉවතට

මන්ත්‍රී අර්චුනාට නොතිසි ඉල්ලූ පොලිසියේ ඉල්ලීම ඉවතට

රියදුරු බලපත්‍රයක් හෝ ජාතික හැඳුනුම්පතක් නොමැතිව යාපනය ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මෝටර් රථයක් පදවමින් රඹෑව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා නමැති සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසී නිකුත් කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (21) ප්‍රතික්ෂේප කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය ඊයේ (21) අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

 

ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පොලිසියට දැනුම් දුන්නේ සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීමට පෙර සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කළ යුතු බවයි.

 

ඒ අනුව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පවතින වැරදිවලට අදාළව චෝදනා පත්‍රයක් ලබන පෙබරවාරි මස තුන දින අධිකරණයට ගොනු කරන ලෙසටද අනුරාධපුර පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා. එලෙස චෝදනාපත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට දන්වා සිටියේය.

 

සැකකරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පවසමින් පොලිසියට තර්ජනය කර සාපරාධී බලහත්කාරය පා බලහත්කාරයෙන් එම ස්ථානයෙන් පිටව යාමට උත්සාහ දරා ඇති බවද කියා සිටි පොලිසිය මෙම රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනා සිය රාජකාරී මැනවින් ඉටුකර ඇති බවද ප්‍රකාශ කළේය.

 

මෙම ක්‍රියාවලියේදී සැකකාර මන්ත්‍රීවරයා රථවාහන පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සිදුකර ඇති බවද ප්‍රකාශ කළ පොලිසිය ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගෙන සැකකාර මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙසද අයැද සිටියේය.

views

127 Views

Comments

arrow-up