පැරණි කෝන්තරේ පිරිමහන්න හිටපු හමුදා සෙබළා අඹුසැමි යුවළකට කල අහස පොළෙව නුහුලන අපරාධය

පැරණි කෝන්තරයකට හිටපු හමුදා සෙබළෙකු විසින් නාවලපිටිය ඉඟුරුඔය ප්‍රදේශයේ අඹුසැමි යුවළකට අලවංගුවකින් පහර දී සැමියාගේ හිස කුඩු කර බිරිඳ ඉඟුරුඔය පාලමෙන් පහළට දමා සිටියදී ප්‍රදේශවාසීන් හා ඥාතීන් ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු සැමියා මියගිය බව නාවලපිටිය පොලිසිය පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ප්‍රසන්න පාලිත අතපත්තු නමැති 48 හැවිරිදි සිව් දරු පියෙකි.
අලවංගු පහරවල්වලින් බරපතළ තුවාල ලබා ඉතා අසාධ්‍යව රෝහල් ගතකර ඇත්තේ නදීකා ලක්මාලි වික්‍රමාරච්චි නමැති 38 හැවිරිදි කාන්තාවකි.
මියගිය අයගේ පාසල් වියේ පුතෙකුට මීට වසර 2කට පෙර සැකකරු විසින් පහරදීමක් සම්බන්ධයෙන් අධිකරණය තුළ නඩුවක් විභාග වෙමින් තිබී ඇති අතර මීට මාස දෙකකට පෙර එය සමථයකට පත්ව ඇත.
එම සිද්ධිය යළි මතු වී මෙම පහරදීම සිදු කරන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සැක කරයි.
මරණකරුගේ දියණියකගේ උපන් දිනයක් වෙනුවෙන් පවුලේ අය සඳහා පැවැත්වූ කෑම වේලක් සඳහා අවශ්‍ය දෑ රැගෙන ඒමට වෙළෙඳසල වෙත යන බව පවසා නිවසින් පිටව ඇති මරණකරු යළි නිවසට ඒම ප්‍රමාද වීම නිසා බිරිඳ ද ඔහු සොයා පැමිණ තිබේ.
පසුව දෙදෙනාගේ පැමිණීම ප්‍රමාද වීම නිසා නිවසේ සිටි පිරිස් ඔවුන් සොයා මහ මගට පැමිණීමේ දී ප්‍රසන්න අතපත්තු පාලම මත ලේ විලක් මැද වැටී සිටි බවත් ඔහුගේ බිරිඳ පාලමෙන් පහළ වැටී සිටි බවත් දැක පසුව දෙදෙනාම මෙසේ රෝහල් ගත කර ඇති බවත් පොලිසිය පවසයි.
ඥාතීන් මෙම ස්ථානයට පැමිණෙන විට සැකකරු අලවංගුව අතැතිව එම ස්ථානයේ සිටි බව දැක තිබූ බවද පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගිය මොවුන් වහාම මහනුවර ජාතික රෝහලට මාරු කර හැරිය ද එහිදී අතපත්තු යන අය මියගොස් තිබේ.
නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට සෙනසුරාදා (8) රාත්‍රියේම ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබීය.
සැකකරු මේ වන විට සැඟවී ඇති අතර නාවලපිටිය පොලිසිය ඔහු සොයා මෙහෙයුමත් අරඹා තිබේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (9) දින මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
316 Views
Comments