ගෑස් සිලින්ඩරයක් සොරකම් කරන්න ගිය තරුණයා ළිඳට වැටී අවසන් ගමන් යයි

ඇල්පිටිය වැයිහේන, මත්තක ප්‍රදේශයේ තරුණයකු අනාරක්ෂික ළිඳක වැටීමෙන් පසුගිය 06 දා මියගොස් ඇති අතර සිරුර හමු වී ඇත්තේ පෙරේදා (08) දින පස්වරුවේය.
ප්‍රදේශවාසීන් පවසන අන්දමට සිද්ධිය මෙසේය.
පසුගිය 06 දා ඇල්පිටියේ සංගීත සංදර්ශනයක් බැලීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් නිවෙස් වසා දමා පැමිණ ඇති අතර මෙම තරුණයා නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීම සඳහා පැමිණ ඇතත් අවට නිවැසියන්ගේ සෝදිසිය නිසා එය වැරැදීමෙන් තාප්පයකින් පැන දිව යෑමේදී මෙසේ අනාරක්ෂිත ළිඳකට වැටී මියගොස් ඇත.
පසුව සොයා බැලූ නමුත් මේ තරුණයා අතුරුදන් බව සිතා සියලුදෙනාම නිහඬව සිටි අතර මෙම ළිඳ ගැන කිසිවකු සොයා බලා නැත.
මෙම ලිඳ දැල් කැබැල්ලකින් ආවරණය කර මෝටරය භාවිතා කිරීමෙන් ජලය ලබා ගන්නා අතර එම ළිඳේ වතුර ද මේ දක්වා නිවැසියන් පාවිච්චියට ගෙන ඇත.
කෙසේ වුවද සිරුර දින දෙකක් මෙසේ ළිඳ තුළ තිබී නරක් වී යෑමෙන් අනතුරුව සොයාගත් බව ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.
එම ප්‍රකාශකයා පැවසූවේ මෙම තරුණයා ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවන බවත්, මෙය අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් සිදුවූ මරණයක්ද එසේ නැත්නම් මිනීමැරුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ පිටිගල කංකානම්ගේ චතුරංග (23) නමැති වැයිහේන මත්තක ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි.
152 Views
Comments